තවත් විදෙස් ණය පස්සේ දුවන්නේ නෑ…! ස්වශක්තියෙන් රට නැගිටුවන අයවැයක් අද…! – බැසිල්…

November 12, 2021 at 7:32 am | by emanisa.lk

ස්වශක්තියෙන් නැගී සිටීමට සමත් ජාතියක් ගොඩනැගීම සඳහා ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන ජාතික අයවැයක් තමා අද (12) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසයි.

මෙය විදේශ ණය පසුපස නොයා අපේම ශක්තියෙන් ජාතිය නගා සිටුවීමට ප‍්‍රවේශය සලසන අයවැයක් බව ද මුදල් ඇමැතිවරයා කියා සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය තව දුරටත් පාලනය කරගනිමින් ජන ජීවිත කඩිනමින් යථාවත් කිරීමට 2022 අයවැයෙන් බලාපොරොත්තු වන බව ද බැසිල් රාජපක්‍ෂ අවධාරණය කරයි.

එසේම සංචාරක කර්මාන්තය පණගැන්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් මෙතෙක් ආනයනය කළ නමුත් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ප‍්‍රවර්ධනය කිරීමට මෙවර අයවැයෙන් පහසුකම් සලසන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වාසිය රටේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා යොදා ගැනීම සේම මුහුණපා සිටින විදේශ විනිමය ගැටලුව අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ද මෙවර අයවැයට ඇතුළත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙය නිදහස් ශ‍්‍රී ලංකාවේ 76 වැනි අයවැය ලේඛනය සහ මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ ඉදිරිපත් කරන මංගල අයවැය ලේඛනය ද වේ. එසේම මෙය වත්මන් රජයේ දෙවන අයවැය ලේඛනයයි. පළමු අයවැය ලේඛනය ඉදිරිපත් කළේ හිටපු මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *