සමස්ත ලෝකය පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර තම තමන්ගේ නිවෙස්වලට පමණක් සීමාවෙමින් වෙසක් පිංකම් පවත්වන ලෙස වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් ත්‍රෛයිනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා ඉල්ලා සිටිති.
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන, අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි යන නාහිමිවරුන් විසින් නිකුත්කර ඇති එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් පොහොය දිනය නිමිති කර ගනිමින් ආමීස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී කටයුතු කිරීම සාමාන්‍ය සිරිත වුවත් රට පුරා උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙවර පෙර ලෙසින් වෙසක් දින සැමරීම සිදු නොවේ. තම තමන්ගේ නිවෙස් තුළට ම පමණක් සීමා වී බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ජනතාව දැනුම්වත් කළ ආකාරයට වෙසක් දිනය සැමරීමට කටයුතු කරන්න.
ඒ අනුව දිවයිනේ සියලු විහාරස්ථානවල සහ පිටත ස්ථානවල ජනතාව එක් රැස්වන දාන, ශීල, භාවනා, වෙසක් තොරණ ආදී අංග ද මෙවර නොපැවැත්වෙන බව ත්‍රෛයිනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා සඳහන් කර සිටිති.
සබ්බේ සත්තා භවත්තු සුඛිතත්තා යන උතුම් සම්බුද්ධෝපදේශය අනුව පිහිටා සකල ලෝකවාසී සත්ත්වයා වෙත මෙත් සිත් පතුරවමින් උතුම් වූ සම්බුදු ගුණයන් සිහිපත්කරමින් සති සම්පඤ්ඤයෙන් යුක්තව කුසල් සිත් වඩා වර්ධනය කර ගැනීමට ව්‍යාවෘත වීමට සැවොම තිර අදිටනින් කටයුතු කළ යුතුය.
‘ආරෝග්‍යා පරමා ලාභා’ නිරෝගී බව පරමලාභයකි යන තථාගත දේශනාව මනාව වටහාගෙන සියලු අගතීන්ගෙන් මිදී ආධ්‍යාත්මික ගුණධර්ම වඩා වර්ධනය කර ගනිමින් තමන්ගේත්, අනුන්ගේත් සමස්ත සමාජයේත් යහ පැවැත්ම උදෙසා වගකිවයුතු පුරවැසියකු ලෙස සිය දායකත්වය සමාජ සුරක්ෂාව උදෙසා ලබාදීමට නොපසුබට වීරයයෙන් කටයුතු කිරීමත් සැමගේ යුතුකම හා වගකීම වන බව මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමි.
උතුම් වූ රත්නත්‍රයේ ආශීර්වාදයෙන් කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඬා විඳින සැමට ඉක්මන් සුවයත් ආරෝග්‍ය සම්පත්තියත් ලැබේවායි ද, එමෙන්ම ලෝකවාසී සැමට නිදුක් නිරෝගී භාවය ලැබේවායි ආශිංසනය කර සිටුම්හ.