ලබන වසරේ ජනවාරි මාසය තෙක් සහල් මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සහල් ව්‍යාපාරිකයෝ පවසති.
පාලන මිලට සහල් සැපයීමට මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයකු ජනාධිපතිවරයා සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළකළද, ඔහු විසින්ද සහල් තොග තවමත් සපයන්නේ වැඩි මිලට බව ද සහල් තොග ව්‍යාපාරිකයෝ කියති.
නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220ක පාලන මිලක් නියම කර ඇතත්, නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 230ක් දක්වා වැඩි වී ඇතැයිද ඔවුහු පවසති. වී මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සහල් වැඩි මිලට අලෙවි කිරීමට සිදුවී ඇතැයිද ඔවුන් කියා සිටිති.
නාඩු වී කිලෝවක් රුපියල් 132-135ත් අතර මිලක ද, සම්බා වී කිලෝවක් රුපියල් 129ක් වන බව ද සහල් ව්‍යාපාරිකයෝ පවසති. පසුගිය කාලයේදී කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 400 ඉක්මවා යාම හේතුවෙන් ඉකුත් යල කන්නයේදී ගොවීන් වැඩි වශයෙන් කීරි සම්බා වී වගා කළ බවත්, නාඩු වී අඩුවෙන් වගා කිරීම නිසා රට තුළ නාඩු සහල් හිඟයක් පවතින බවත් සහල් තොග ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
මේ වන විට සම්බා සහල් කිලෝවක් රුපියල් 234ක තොග මිලකටද, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 240ක තොග මිලකටද අලෙවි කෙරේ.
මෙවර මහ කන්නයේ (2024/25) වී අස්වනු ලැබෙන්නේ ලබන ජනවාරි මාසයේදී බැවින්, සහල් මිල අඩු වන්නේ එම වී අස්වනු ලැබීමෙන් පසුව බව වී මෝල් හිමියෝ සහ සහල් ව්‍යාපාරිකයෝ පවසති.