අති සුඛෝපභෝගි බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ වාහනයක් ලියාපදිංචි නොකොට නිත්‍යානුකූල නොවන ආකාරයෙන් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විදේශගතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝගයක් නිකුත් කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
කොළඹ හිල්ටන් හෝටලයේ රථගාලේ නවතා තිබූ ලියාපදිංචි නොකළ එම රථය සම්බන්ධයෙන් ලැබුණ රහසිගත තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන ඒකකය විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළේය.
ජර්මනියේ නිෂ්පාදිත එම රථය එංගලන්තයට ගෙන යෑමට නියමිතව තිබූ බවත් එය රහසිගතව ශ්‍රී ලංකාවට රැගෙනවිත් වසර දෙකකට ආසන්න කාලයක් ගරාජ් අංකයක් යටතේ භාවිත කර ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
පසුව වෙනත් වාහනයක අංක තහඩුවක් භාවිත කර අලුත්වැඩියා කිරීම සඳහා ගරාජයකට යවා ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්හ. බදු වංචා කරමින්, නීති විරෝධීව මෝටර් රථයක් ගෙන්වීම, වංචනික ලෙස භාවිත කිරීම ආදී වරදවල් ඔහු කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කර තිබිණි.