ජීනිවා යෝජනාවෙන් ඉවත් වූ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය වී දැයි සොයන්න සූදානම්…

January 22, 2021 at 3:34 pm | by emanisa.lk

මෙ රට සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රිපුද්ගල කොමිෂන් සභාවක් පත්කර තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්ගේ සභාපතිත්වයෙන් යුතුවය. විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු, විශ‍්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි එම කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස පත්කර තිබේ. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ රාත්‍රියේදීය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවන්හි සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වීමට වත්මන් ආණ්ඩුව තීරණය කළේ ය. එම තීරණය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙනු ලැබිණි.

එම යෝජනාවල සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වුව ද, තිරසාර සාමයක් හා සංහිඳීයාවක් දිනා ගැනීම සඳහා වගවීම හා මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා තව දුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්තිය වන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳව මීට පෙර පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මගින් සිදු කරන ලද විමර්ශනයන්හි දී බරපතළ ගණයේ මානව හිමිකම් උල්ලංඝණය වීම්, මානුෂීය නීති කඩකිරීම් වැනි බරපතළ සිද්ධී අනාවරණ කරගෙන තිබේද යන්න සොයාබලා ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න තීරණය කිරීම මෙම කොමිසමට පවරා ඇත.

කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළත ලබාදෙන ලෙසට අදාළ ගැසට් නිවේදනය මගින් නියම කර ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස