සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්‍ය බවත් ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවති දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උත්සවයක් වන කම්බන් උලෙළ සමග එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මනුෂ්‍යත්වය පෙරටුකරගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට මහඟු වගකීමක් පැවරී තිබෙන බවය.
මේ රටේ ජනතාවට එකමුතුවෙන් සහ සමානාත්මතාවෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනඟා දීමට ඉටුකරන මෙහෙවර අගයමින් කම්බන් සම්මානයෙන් ජනාධිපතිවරයා පිදීමද මෙහිදී සිදුකෙරිණි.
ශ්‍රේෂ්ඨ දෙමළ කවියෙකු වූ කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය 1980දී යාපනයේ පිහිටුවන ලදී. තරුණ පරම්පරාව සංස්කෘතික සහ දේශප්‍රේමය සමඟින් ධර්මිෂ්ඨ මාවතක් ඔස්සේ මෙහෙයවීම මෙහි අරමුණ වන අතර කලගම් සංවිධානය විසින් වාර්ෂිකව කම්බන් උළෙල සංවිධානය කරනු ලබයි.