ජල ඇමැති වාසුගෙන් සුපිරි තීන්දුවක්…! මැති ඇමැති ජල පොල්ල පඩියෙන් කපයි..!

January 30, 2022 at 9:44 am | by emanisa.lk

නිල නිවාසවල ජල බිල්පත් නොගෙවා ඇති මැති ඇමැතිවරු තිහකගේ හිඟ ජල බිල්පත් මුදල මාසික වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් වෙන්කර ලබාදෙන ලෙස ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට දැනුම් දීමට සූදානම් වෙයි.

දැනට ජීවතුන් අතර සිටින හිටපු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීමටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ මාසික වැටුපෙන් හිඟ බිල්පත් අයකර ගැනීමටත් සාකච්ඡා කර ඇත.

හිඟ බිල්පත් ගෙවීමට ඇති මන්ත්‍රිවරු, ඇමැතිවරුන් සංඛ්‍යාව හතළිහකි. ඔවුන්ගෙන් දස දෙනකු මියගොස් ඇති බැවින් එම හිඟ බිල්පත් සම්බන්ධයෙන් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දුවක් ගැනීමට නියමිතය. මෙම මහජන නියෝජිතයන්ගෙන් අයවීමට ඇති මුළු මුදල රුපියල් මිලියන නවයකි. එක් මන්ත්‍රිවරයකුගේ හිඟ බිල්පත රුපියල් ලක්ෂ විස්සද ඉක්මවන බව ජලසම්පාදන මණ්ඩලය අනාවරණය කරයි.

අදාළ හිඟ බිල්පත් කඩිනමින් ගෙවන ලෙස දන්වා මැති ඇමැතිවරුන්ට මණ්ඩලය මෙම සතියේදී අවසන් නිවේදන ද යොමුකර ඇත. කෙසේ වෙතත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මණ්ඩලයට දැනුම් දී ඇත්තේ හිඟ බිල්පත් නොගෙවන මහජන නියෝජිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ අතර මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවූ ලක්ෂ හයක සම්බන්ධතාවය විසන්දි කිරීමට දිස්ත්‍රික්ක මට්ටමින් කටයුතු සැලසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහකාර සාමාන්‍යාධිකාරී (අයකිරීම්) ඒකනායක වීරසිංහ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *