ජනාධිපති මුක්තිය අවසන්…රනිල් නඩුවක වග උත්තකරු කරයි…!

October 23, 2024 at 10:23 am | by emanisa.lk

2022 වසරේ පැවති අරගලයෙන් පසුව කොළඹ නගරයේ පිහිටි ප්‍රදේශ කිහිපයක් අධි ආරක්‍ෂක කලාප බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේ ය.

එම පෙත්සම ඊයේ (22) එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය කළ එම ඉල්ලීමට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේ ය.

සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මරදාන, කොම්පඤ්ඤවීදිය, කුරුඳුවත්ත යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන ජුනි 17 වන දා කැඳවීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළේ ය.

2022 වසරේ පැවති අරගලයෙන් පසුව ජනාධිපති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නගරයේ පිහිටි එතෙක් අධි ආරක්‍ෂිත කලාප බවට පත් කර නොතිබූ මංමාවත් සහ ප්‍රදේශ කීපයක් අධි ආරක්‍ෂිත කලාප බවට පත් කරමින් 2022 වසරේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එයට එරෙහිව 2022.09.27 වන දා සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් විරෝධතාවක් දියත් කර තිබිණි.

එකී විරෝධතාවට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබූ පොලිසිය විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *