ඉහත ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙන්නේ පසුගිය ජුලි 09 වනදා අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ සිදුවීම් කිහිපයකි. එහි පෙනී සිටින්නේ මෙරට සුපිරි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඒ, මෙල්වා සමාගමේ අධ්යක්ෂවරයකු වන ආනන්දරාජා පිල්ලේ මහතා ය.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සඳහා භාවිතා කරන වානේ කම්බි වෙළඳපොලේ ඒකාධිකාරිය උසුළන සමාගමක් වන මෙල්වා සමාගම පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිතාගත නොහැකි අයුරින් හිටි අඩියේ පොහොසත් වූ සමාගමකි. ඒ, රාජපක්ෂවරුන්ගේ පූර්ණ අනුග්‍රහය සහිතව ය. ඒ සමය තුළ ආනන්දරාජා පිල්ලේ ලංකාවටම ඇති සුපිරි බෙන්ට්ලි මෝටර් රථ පහෙන් එකක හිමිකාරයෙක් බවට ද පත්විය. ඒ සමය තුළ ඔහු ඉපයූ මුදල් කොතෙක්දයත් මේ වනවිට ඔහු යාල ඇතුළුව විවිධ ප්‍රදේශවල හිල්ටන් හෝටල් 6ක් ඉදිකර තිබේ.
එසේ රාජපක්ෂලාගේ අනුග්‍රහයෙන් සුපිරි කෝටිපතියෙකු බවට පත්වූ ඔහු රාජපක්ෂලා එළවන අරගලයේ ද ඉදිරියෙන්ම සිටියා පමණක් නොව ජනාධිපති මන්දිරයට කඩාවැදී එහි ජයග්‍රහණය සමරමින් ජනාධිපතිවරයාගේ ඇඳේ නිදාගෙන ඡායාරූපත් ගෙන ඒවා සමාජ මාධ්‍යවලත් පළ කළ අයෙකි.
ජුලි 09 වෙනිදා ජනාධිපති මන්දිරය සහ අනෙකුත් ගොඩනැගිලිවලට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ. තවත් අය හඳුනාගැනීම සඳහා මාධ්‍ය වෙත ඡායාරූපත් නිකුත් කර තිබේ. අරගලයට අදාළ සමස්ත අත්අඩංගුවට ගැනීම් හාරදහස් ගණනකි. පොඩි පොඩි කොලු කුරුට්ටන් පවා ඉතාම කුඩා හේතූන් මත අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි. එහෙත් ආනන්දරාජාව අවම වශයෙන් ප්‍රශ්න කිරීමකට හෝ ලක් කර නැත. ඒ, ඔහු මේ වනවිට වත්මන් ආණ්ඩුවත් බැලන්ස් කරගෙන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් බැලන්ස් කරගෙන ඇති නිසාද යන්න ප්රශ්නයකි.
සමාජ මාධ්‍යවල පළ කළ ඡායාරූප සියල්ල ඔහු විසින්ම මේ වන විට ඉවත් කරගෙන ඇති නමුත් ඔහු තැන්තැන්වල කියමින් යන්නේ බලයට එන කවුරුන් වුවත් තමන්ට යට බවත් එසේ යටකර ගන්නා ක්‍රමවේදය තමන් දන්නා බවත් ය.