ජනරාල් සලේ මාස හයක් CIDයේ රඳවා ගැනීම නීති විරෝධියි… වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න…!

August 23, 2026 at 7:19 pm | by emanisa.lk

මේජර් ජෙනරල් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධී බව මවිබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න ප්‍රකාශ කරයි.

ඔහු සිය ෆේස්බුක් පිටුවෙහි පළකර ඇති ලිපියක් පහත දැක්වෙයි.

* ඔහුව සීඅයිඩීය අත්අඩංගුවට ගන්නෙ 2026 පෙබරවාරි 25.
* ඉන් පසුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ රඳවා ගැනීම සඳහා පෙබරවාරි විසි අට ත්‍රස්තවාදය වැළැකීමේ පනතේ නම වන වගන්තියට අනුව ආරක්ෂක ඇමති ලෙසට ජනාධිපති අනුර කුමාර දින අනූවක රැඳවුම් නියෝගයක් නිකුත් කරනවා.
* එම කාලය ඉකුත් වීමට පෙර නැවතත් දින අනූවක රැඳවුම් නියෝගයක් නිකුත් කරනවා.
* ඒ දෙවන රැඳවුම් නියෝගය අගෝස්තු විසි අට දින ඉකුත් වීමට නියමිතයි.
* ඊට පෙර ජනාධිපතිතුමා විසින් එය තව දින 90 ට දීර්ඝ කරයිද? නැතහොත් එය ඉබේම අහෝසි වීමට ඉඩ හැර අපේ බුද්ධි අංශ රණවිරුවාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයිද කියල මේ වන විට මුළු රටම බලාගෙන ඉන්නෙ.
* ජෙනරල් සලේව රඳවා තබා ගැනීමට එරෙහිව ජනතා හඬක් නිර්මාණය වීමත් සමගම පොලීසිය බාර ඇමති විජේපාල පාර්ලිමේන්තුව අමතා ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට හේතු තුනක් ඉදිරිපත් කළා.
1. පාස්කු ඉරිදා ප්‍රහාරයට ආසන්න දිනක පානදුරේ පදිංචි යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු ලබා දෙන සිවිල් ඔත්තුකරුවෙක්, හමුදා බුද්ධි නිළධාරින්ට දැනුම්දීල තියෙනව පාස්කු දින ප්‍රහාරය සහරාන්ල සිද්ධ කරනව කියලා. මේ බුද්ධි තොරතුර ආරක්ෂක අංශවලට ලබා දීල එම ප්‍රහාරය නතර කිරීමට හමුදා බුද්ධි අංශය අපොහොසත් වීම.
2. කටුවාපිටිය පල්ලිය ඇතුළු දේවස්ථාන පිහිටි ස්ථාන, දෛනිකව එම පල්ලිවලට එන බැතිමතුන් සංඛ්‍යාව ගැන සහරාන් පාර්ශ්වයට යුද හමුදා බුද්ධි අංශය ලවා තොරතුරු ලබා දීම.
3. චැනල් 4 නාලිකාව මගින් ප්‍රචාරය කළ වැඩසටහනින් හෙළිදරව් කළ පරිදි පාස්කු ප්‍රහාරයට පෙර අසාද් මවුලානා, මේජර් ජෙනරල් සලේ, සහරාන් වනාතවිල්ලුව නිවසේදී හමුවුන බවත්, එහිදී ගෝඨාභය ජනාධිපති කරවීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කරන ලෙසට සලේ සහරාන්ගෙන් ඉල්ලීමක් කළ බව.
* අපි කියන්නේ මේ ඉදිරිපත් කළ හේතු තුනම අසත්‍යය හා පිළිගත නොහැකි කරුණු බවයි.
* ** පළමුවන හේතුව ලෙස කියන්නේ පානදරේ බුද්ධි අංශ ඔත්තුකරු සහරාන්ලාගේ ප්‍රහාරය ගැන පූර්ව බුද්ධි තොරතුරු ලබා තිබියදී ඒ පිළිබඳව ආරක්ෂකඳව අංශවලට තොරතුරු ලබා නොදී ප්‍රහාරය සිදු වෙන්නෙ සලේ ඉඩ හැරියා කියන චෝදනාව මොන තරම් බොරුවක්ද?
* මෑතකදී හිටපු පොලිස්පති පූජිත හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි පාස්කු ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු දැන සිටියදී එය වළක්වා නොගැනීම නිසා මරණ දඬුවම ලැබුවා. ඒ ගැන අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් කියන්නෙ පාස්කු ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු ඇතුළත් කොට පූජිත විසින් නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරින්ට ලිපියක් නිකුත් කළ බවත් එහි FNA ලෙසට (සුදුසු ක්‍රියා මාර්ග ගැනීම සඳහා) ලෙසට පූජිත සටහන් යොදා තිබුණ බවත් මාධ්‍යයට හෙළිදරව් කළා.
* එහෙම නම් පාස්කු ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක අංශ දැනුම්වත්ව සිට තිබෙනවා. ඒ නිසා පානදුර ඔත්තුකරු තොරතුරු දී තිබියදී එය හමුදා බුද්ධි අංශය විසින් ආරක්ෂක අංශවලට ලබා නොදුන් බවට සලේට එරෙහි පොලිස් ඇමතිගේ චෝදනාව බොරුවක් නේද?
* අනික 2016 සිට සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කොට පාස්කු ප්‍රහාරය තෙක්ම ඔහු ලංකාවේ සිටියෙ නැහැ. ඔහු නිළ රාජකාරි සඳහා මැලේසියාවෙ සහ ඉන්දියාවෙ තමයි හිටියේ.
* කටුවාපිටිය පල්ලිය ඇතු‍ළු දේවස්ථාන පිහිටි ස්ථාන හා ඒවාට දෛනිකව සහභාගි වන බැතිමතුන් සංඛ්‍යාව සම්බන්ධ බුද්ධි තොරතුරු සලේ සහරාන්ලට ලබා දුන්නා කියල ඇමති විජේපාල කියන චෝදනාව විහිළුවක්. එකවර අර වගේ ප්‍රහාර සිදු කරන්න තාක්ෂණික දැනුමක් සංවිධාන ශක්තියක් තිබුණ තවුහිද් ජමාත්ලට පල්ලි තියෙන තැන් කවුරු හරි පෙන්නන්න ඕනද?
* චැනල් 4 නාලිකාව මගින් ප්‍රචාරය කළ වැඩ සටහනට අනුව අසාද් මවුලානා කියනව පාස්කු ප්‍රහාරයට පෙර දිනයක සලේ සහරාන් සමග තමා වනාතවිල්ලුව ගොඩනැගිල්ලෙදි හමු වුණා කතා කළා කියලා.
හැබැයි ඔහු කී දිනයේ සලේ හිටියෙ ආරක්ෂක පාඨමාලාවක් හදාරමින් ඉන්දියාවෙ. ඒ බව සාක්ෂි සහිතව සලේ ලිඛිතව චැනල් 4 එකට දැන්වූ පසුව ඔවුන් සලේගෙන් සමාව ගන්නව වැරදි තොරතුරු තම නාලිකාවෙ ප්‍රචාරය කළාට.
* මේ නිසා සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සාධාරණීය කරමින් පොලිස් ඇමති විජේපාල පාර්ලිමේන්තුවෙදි ඉදිරිපත් කළ කරුණු තුනම අසත්‍යය හා පදනම් විරහිත බව පැහැදිලියි.
* 2016 සිට සලේ හමුදා බුද්ධි අංශයේ රාජකාරි කළේ නැහැ.
* පාස්කු ප්‍රහාරයට පෙර, එදින හෝ පසුව සලේ ලංකාවෙ හිටියෙ නැහැ කියන එක ඔප්පු වෙලා තිබෙනවා.
* ඉතින් පදනම් විරහිත අසත්‍ය චෝදනා මත මේජර් ජෙනරල් සලේව අත්අඩංගුවට ගැනීම හා මාස හයක් රඳවා තබා ගැනීම නීති විරෝධියි.
* මේ 28 දින සලේගෙ දෙවන දින 90 රැඳවුම් නියෝගය අවසන් වෙනවි.
* ඒ නිසා එය තව දින 90 ට දීර්ඝ නොකර සලේ රණවිරුවාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න කියල තමයි ජනාධිපතිතුමාන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙ.

– නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න
කැඳවුම්කරු, මවිබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස