ජනපති සමග එකඟතාවකට යාම අරගලය පාවා දීමක්…! අරගලයකරුවන්ට ඕන විදිහට ව්‍යවස්ථාවක් හැදිය යුතුයි..!

May 11, 2022 at 10:31 am | by emanisa.lk

ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂවලට ආරාධනා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

යම් පක්ෂයක් මේ අවස්ථාවේ දී ජනාධිපතිවරයා සමග එකඟතාවකට යන්නේ නම් එය ජන අරගලය පාවාදීමක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් රට අරාජික වෙනවා යැයි පැවසීම මිථ්‍යාවක් බවත් ගෝඨා මෙන්ම විධායක ජනාධිපති පුටුවත් අහෝසි විය යුතු බවත් ගුණරත්නම් පැවසීය.

“ජනතාවාදී ව්‍යවස්ථාවකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. තෝරා පත්කර යවන පාර්ලිමේන්තු නියෝජිතයන් ජනතා විරෝධී ලෙස කටයුතු කරන්නේ නම් ඔහු නැවත කැඳවීමේ බලය ජනතාවට තිබිය යුතුයි. ඇතැම් අධිකරණ තීන්දු ගැන නැවත විමර්ශනය කිරීමේ අයිතිය ජනතාව සතු විය යුතුයි.

ඒ වගේම යම් කිසි මොහොතක ජනමත විචාරණයක් කැඳවිය යුතු නම් එය කැඳවීමේ බලය ජනතාව සතු විය යුතුයි. ඒවා අපේ යෝජනා.

අද ජනතාව කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලා. ඒත් දැන් තියන ව්‍යවස්ථාව යටතේ ජනතාවට බෑ ඊට අදාළ ජනමත විචාරණයක් කැඳවන්න. ඒ අයිතිය තියෙන්නෙ ගෝඨාභයටයි. එය වෙනස් කළ යුතුයි.

අපි මේ යෝජනා කරන ව්‍යවස්ථාවත් අරගලය හා බද්ධ විය යුතුයි. එය ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. අරගලය හා සම්බන්ධ සෑම පාර්ශ්වයක ම අදහස් අරගෙන තමයි මේ ව්‍යවස්ථාව හදන්න ඕනෙ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස