ජනපති අනුරත් පාස්කු කොමිසන් වාර්තා සඟවන බවට චෝදනා…!

October 7, 2024 at 7:36 pm | by emanisa.lk

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක් ලැබුණු බවත් හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකළ එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ වගකීමක් බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සඳහන් කර සිටියේ අද දින (07) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නයකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජනාධිපතිතුමා ඊයේ කටුවාපිටිය පල්ලියට ගොස් ඇති බව මාධ්‍යවලින් දැක්කාම අපි හිතුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති සැඟවූ කතෝලික පල්ලිය ප්‍රසිද්ධ කරන්න කියලා නිතර ඉල්ලන වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ඒ පල්ලියට ගියා කියලා. නමුත් එතුමා ගිහින් තිබුණේ හිස් අතින්. පල්ලියට රැස් වුණු වින්දිතයෙකු ඉල්ලා සිටියේ අපේ බුද්ධි අංශ මේ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා තිබෙන නිසා අලුත් පරීක්ෂණ ආරම්භ කරන්න කලින් ඒ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න කියලා.

අපේ බුද්ධි අංශවලට චැනල් ෆෝ එල්ල කළ චෝදනාවට පදනමක් තිබෙනවා ද කියලා බලන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළා. ඒ විමර්ශන වාර්තාව පසුගිය ජුනි මාසයේ ජනාධිපතිට භාර දුන්නා. නමුත් අභිරහස් හේතුවකට කාව හෝ රැක ගන්න ඒ වාර්තාව ප්‍රසිද්ධ කළේ නෑ. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිශ්චිත කරුණු හතරක් විමර්ශනය කරන්න විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. මේ වාර්තා දෙකම හිටපු ජනාධිපතිට ලැබුණත් එකක්වත් ප්‍රසිද්ධ කළේ නෑ.

ජනාධිපතිතුමා මේ වාර්තා අධ්‍යනය කරලා කටුවාපිටියේ ගියා නම් මේ වාර්තා අරගෙන කටුවාපිටියේ ගියා නම් වින්දිතයින් නගපු ප්‍රශ්නවලට වැනෙන්නේ නැතිව කෙලින් පිළිතුරු දෙන්න තිබුණා. මේ වාර්තා දෙක සොයා ගන්න බැරි නම් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්තයාට කතා කරලා කොහෙද තිබ්බේ කියලා අහන්න. ඒත් හොයා ගන්න බැරි නම් නීතිපතිතුමාට කතා කරන්න. පිවිතුරු බුද්ධි අංශ වාර්තා අනුව හිටපු ජනාධිපති ලේකම් මේ වාර්තා දෙකේම පිටපත් නීතිපතිතුමාට බාර දීලා තිබෙනවා.

ජනාධිපතිතුමා බලයට ඇවිත් දැන් සති දෙකකටත් වැඩියි. ඒත් කටුවාපිටියේ යනකොටවත් මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න මතක් වුණේ නෑ. මහජන මුදලින් හදපු මේ වාර්තාවල අන්තර්ගතය ගැන දැන ගන්න පාස්කු වින්දිතයින්ට විතරක් නොවේ සමස්ත ජාතියටම අයිතියක් තිබෙනවා. හිටපු ජනාධිපති මේ වාර්තා සැඟෙව්වේ එතුමාගේ හිතවතුන් බේරා ගන්න කියලා අපි හිතමු. වර්තමාන ජනාධිපතිත් මේ වාර්තා සඟවන්නේ ඇයි? හිටපු ජනපතිතුමන්ට රැකගන්න අවශ්‍ය පිරිසම වර්තමාන ජනපතිතුමන්ටත් රැකගන්න අවශ්‍යද? නැති නම් මේ ආණ්ඩුව පිටුපස සිටින අදිසි හස්තය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා ද? ‘රනිල් ගිහින් රනිල් ඇවිත්’ කියලා කොළඹ සමාජයේ තිබෙන කසුකුසුව ඇත්තක් නිසා ද?

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස