ජනපතිගෙන් 2030ට තිරසර සංවර්ධන ඉලක්කයක්! විදුලියෙන් 70%ක් පුනර්ජනනීය කරන සැලසුම්!

September 15, 2020 at 8:21 am | by emanisa.lk

2030 වසර වන විට මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස්කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ගල්අඟුරු සහ ඛනිජ තෙල් වැනි පොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවෙමින් සිටින අතර මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩි වීම 6%කි.

එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමග බලශක්ති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට ද ගණන් බලා තිබේ.

මෙම තත්ත්වය හමුවේ අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විඳීමට ඇති තිරසර සංවර්ධනයකට මඟපාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර තිබේ.

ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීමේ දී බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

යම් ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලුම් කළ අවස්ථාවල දී දින 14ක් තුළ ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස