අගය මත පැන වූ බදු (වැට් බදු) සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් ප්රතිගාමී බදු වැඩිකිරීම තුළ මේ රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් මෙසේ රජය ගත් තීන්දු තීරණ තුළ රජයේ දුර්වලකම, අකාර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (31) විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමඟ කළ සාකච්ඡාවකදීය.
වත්මන් රජය බදු පරිපාලනයේ වෙනසක් සිදු නොකරන බවත් බදු පරිපාලනය ඩිජිටල්කරණය, නවීකරණය හා යාවත්කාලීන කිරීම තුළ රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවත් බදු පැහැර හරින කණ්ඩායමවලට රජය කිසිදු පියවරක් නොගෙන සාමාන්‍ය ජනතාවගෙන් බදු ආදායම ලබා ගැනීමට කටයුතු කරන බවත් විද්‍යාත්මක නොවන අක්‍රමවත් ලෙස බදු සහන ලබා දීම තුළින් පවා රජය රාජ්‍ය ආදායම අහිමි කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එබැවින් මෙම අංශ තුනෙන්ම බදු අය නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට වැට් බද්ද සියයට 18 ක් කර සාමාන්‍ය ජනතාවගේ බදු බර වැඩි කිරීම නිහීන පහත් ක්‍රියාවක් බවත් පැවසීය.
එසේම වරමක් නොමැතිව මෙවැනි බදු බරක් ලක්ෂ 220 ක්වූ ජනතාව මත පටවන්නේ කෙසේද කියා ප්‍රශ්න කර සිටින බවත් රටේ ජනතාවගේ භාරකරුවන් ලෙස මෙවැනි තීරණ ගන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවත් මෙවැනි තීරණ ගෙන ඇත්තේ රටම ප්‍රතික්ෂේප කරන තාවකාලික සීමාසහිත මන්ත්‍රීවරුන්ගේ වරමින් බිහි වූ ජනාධිපතිවරයකු බැවින් මෙසේ අසීමිත ලෙස බදු බර පැටවීම අනුමත කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
තව ද වසරකට දෙවතාවක් පමණක් මිල වැඩි කළ හැකි බවට නීති තිබියදී මාස 3න් 3ට විදුලි බිල සංශෝධනය කළ හැකි කැබිනට් තීන්දුවක් ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, ව්‍යාජ දත්ත හා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර රටේ පාරිභෝගික ජනතාව මුලා කර බදු බර වැඩි කර විදුලි බිල මාස 3න් 3ට ඉහළ දැමීමට සූදානම් බවත් මෙම තීන්දු තීරණවලින් ඔප්පු වන්නේ ජනතාවගේ කරපිට ඉමහත් පීඩනයක් අසහනයක් දුකක් වේදනාවක් ගෙන එන ජනපීඩක ජනඝාතක අදූර්දර්ශී ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.