ජනතාවගේ ජීවින වියදම දෙගුණ තෙගුණ කළේ යහපාලනාණ්ඩුවේ ආර්ථික කොල්ලයයි….!

November 3, 2021 at 8:17 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වූයේ යුගයේ අවශ්‍යතාවක් සහ මහජන අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමේ පරම අභිලාෂයෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරය අද (02) පෙරවරුවේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර ඊට ශුභාශිංසන පළ කර වීඩියෝ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දර්ශනය පැහැදිලි අතර ඒ නිසා ම අරමුණු ඉලක්කගත බව පැවසූ ජනාධිපතිතුමා ඒකීය රටක්, ස්වෛරී දේශයක්, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නො හැකි අගනා කාර්ය භාරයක් මේ වන විටත් ඉටු කරමින් සිටින බව සඳහන් කළේය.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ජනතාවට කියූ එදා ආණ්ඩුව, රටක පැවැත්මේ මූලික ම අවශ්‍යතාව වන ජාතික ආරක්ෂාව සැලසුම් සහගතව බිඳ දැමුවා පමණක් නො ව, අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය සකසමින් ආගමික සංහාරයකට රට විවෘත කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වූ ජාතික ආරක්ෂාව අද තහවුරු කර ඇති අතර, පැවති අවිශ්වාසයත්, අපේක්ෂා භංගත්වයත් තුරන් කර තිබෙන බව සඳහන් කළේය.

රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන මහ බැංකුව කොල්ල කෑමෙන් ජාතික ආර්ථිකයට එල්ල වූ මරු පහරේ දුර්විපාක අදටත් මේ රට අත්විඳින බව පැවසූ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ, තෙගුණ කළේ ද ඔවුන් බවත් සංවර්ධනය අඩපණ කර නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ ආකාරය ආර්ථික විශේෂඥයන් පවා පෙන්නුම් කර තිබෙන බවත් පැවසීය.

අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත් කරන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා ජන සම්මතවාදී ව බිහි විය. නැවුම් දේශපාලන පක්ෂයක් ලෙස මහජන මතය ඉතා නිවැරදිව ග්‍රහණය කර ගැනීම නිසා සුවිසල් ජනමතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොඩනැඟුණු බවත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තිය සම්මුතිවාදීව විජයග්‍රහණය කළේ පක්ෂයේ අධිෂ්ඨානය සහ කැපවීම මත බවත් ජනාධිපතිතුමා කීය.

සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. නීති විරෝධි මත්ද්‍රව්‍ය උවදුර මෙන් ම ඒ හා බැඳුණු පාතාලය මර්දනය වී තිබේ. හරිත කෘෂිකර්මාන්තයක් ඉලක්ක කර ගනිමින් කාබනික ගොවිතැනට මාරු වීමේ අසීරු තීන්දුව අනාගත පරපුර වෙනුවෙන් ගෙන ඇත. රාජ්‍ය සේවය ගුණාත්මක කර, රටේ බුද්ධිමය කුසලතාවට රට නැංවීමට ඉඩ සලසා තිබෙන අතර දරිද්‍රතාවයෙන් පෙළුණු නිපුණතාව අඩු තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවි බල ගන්වන දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට රජය එළැඹී සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන් බවත් ඒ සඳහා පොදුජන පෙරමුණේ දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයක් බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *