චීන නෞකාව හරවා යැවීම පිටුපස ඉන්නේ බැසිල් නඩේ…! – විමල්…

August 7, 2022 at 5:29 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.!

ලබන එකොළොස්වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. එසේ දැනුම් දී ඇත්තේ එම සන්නිවේදන නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබා ගැනීම පිණිස හම්බන්තොට වරායට පැමිණීම පිණිස ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය අනුව ය.

මෙම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස සලකමින් ඉන්දීය රජය එය හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමත් සමඟ ශ්‍රී ලංකා රජය මෙම තීරණය ගෙන ඇත. ඉන්දු- පැසිෆික් වුවමනාවට චීනයට දොර වැසීම නොබැඳි පිළිවෙත ද ? අප අනුගමනය කළ යුතු වන්නේ නොබැඳි විදේශ පිළිවෙත මිස අනෙකක් නොවේ.

මෙමගින් පෙනී යන්නේ තවමත් පවතින අර්බුදය, පුනරුදයේ මොහොත බවට පත් කර නොගනිමින්, එය ඉන්දු- පැසිෆික් ආධිපත්‍යයට අපේ රට සම්පූර්ණයෙන් යටත් කිරීම සඳහා යොදා ගනිමින් තිබෙන බවය. එසේම අපේ රට ඉන්දු පැසිෆික් මෙහෙයුමේ ගොදුරක් බවට පත් කිරීම පිණිස යුහුසුළුව ක්‍රියාත්මක වූ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ නඩයේ බලපෑමෙන් වත්මන් පාලනය ද මිදී නොමැති බවය.

එවැනි රට වළපල්ලට ඇද දැමූ විනාශකාරී නඩයක බලපෑම්වලට නතු වෙමින් ගන්නා මෙවැනි තීරණ මගින් සිදු වන්නේ අනාදිමත් කාලයක සිට සෑම දුෂ්කර මොහොතකම ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ හස්තය දිගු කළ කල්‍යාණ මිත්‍රයකු වන චීනය සමඟ ද රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් පැන නැගීම පමණි.

විමල් වීරවංශ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස