මගේ අතින් වරදක් සිදුවුණා….! රජයෙන් සහ පොලිසියෙන් සමාව අයදිනවා…! – චීන ආරක්ෂක ලේකම්ට විරෝධය පා ඇප ලැබූ නළාකරු…

April 30, 2021 at 5:50 pm | by emanisa.lk

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළට විරෝධය පාමින් පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයා රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් සැකකරුට එවැනි ක්‍රියාවක් තුළින් රටට සිදුවන අපකිර්තීය සුළු කොට තැකිය නොහැකි බවට තරයේ අවවාද කර එම නියෝගය ලබා දී ඇත.

කෙසේ වෙතත් තම සේවාදායකයා පොලීසියට සිදුවු අපහසුතාව සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

පසුගිය 27 වන දා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ රථ පෙළට ගමන් කිරීම සඳහා මාර්ග කිහිපයක රථ ගමනාගමනය කෙටි කාලයක් සඳහා අත්හිටුවීමට පොලීසිය පියවර ගත් අවස්ථාවේ මොහු අනෙක් රථ වාහන රියදුරන් පොලීසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවා ඇති අතර ඒ පිළිබඳ විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබිණි.

මේ අතර අදාළ සැකකරු අධිකරණයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තමා අතින් සිදුවු වරදට සමාව අයැද සිටියේය.

“මගේ අතින් වරදක් සිදුවුණා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙනුත්, ශ්‍රී ලංකා පොලීසියෙනුත් මම සමාව ඉල්ලනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලංකා පොලීසියටත් මුහුණදීමට සිදුවු අපහසුතාව පිළිබඳ කනගාටුව පළ කරනවා.”

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වුවෙකි. නඩුව මැයි මස 12 වන දින යළි කැඳවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *