තමන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධූරය භාර ගන්නා විට එහි පැවතියේ දින භාගයකට අවශ්‍ය ඉන්ධන වුවද තමන් ඉවත්ව යන මොහොතේ මාසයකට අවශ්‍ය ඉන්ධන සංචිත එහි පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් පවසයි.
ඊයේ (04) එම ආයතන පරිශ්‍රයෙන් පිටව යන මොහොතේ මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එහිදී ඔහු සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයා සමඟ යම් මතභේද තිබුණ ද එකට වැඩකළ බවත්
සිය ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුම්වත් කළ බවයි.
රට ඉතා දුෂ්කර මොහොතකට ඇද වැටුණු අවස්ථාවේ එම අභියෝගය භාරගෙන සිය දැනුම හා අත්දැකීම් මත එම ආයතනය යළි ගොඩ නගන්නට හැකිවීම ගැන සතුටු වෙන බව ද උවයිස් පැවසුවේය.
කෙසේ වෙතත් තමන්ට මෙම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස බලපෑමක් හෝ තර්ජනයක් නොතිබුණු බව ද සිය කාලය තුළ ඛනිජ තෙල් සංස්ථාව රු.බිලියන 100ක පමණ ලාභයක්ද ඉපයීමට හැකි වූ බව ද ඔහු කියා සිටියේය.