ගුවන්විදුලි සංස්ථාව වාර්තාගත පාඩුවක් ලබයි… 2025 පාඩුව මිලියන 203යි… 2026 මුල් මාස හයට මිලියන 68යි.. මාලිමා සභාපතිට ඉතිහාසයේ ලොකුම වැටුප හිමියි…!

November 25, 2026 at 12:57 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එහි නව සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යටතේ දිගින් දිගටම පාඩු ලබමින් ඇතැයි වාර්තා වෙයි.

මුදල් අමාත්‍යංශ වාර්තා අනුව ගුවන්විදුලි සංස්ථාව 2024 වසරේ රු.මිලියන 176ක්ද 2025 වසරේ රු. මිලියන 203ක්ද 2026 වසරේ මුල් මාස 6 තුළ රු. මිලියන 68ක්ද පාඩු ලබා ඇත. මෙය එම ආයතනය ඉතිහාසයේ ලද විශාලතම පාඩුවයි.

කෙසේ වුවද වර්තමාන සභාපතිවරයා ඉතිහාසයේ කිසිදු සභාපතිවරයෙකු ලබානොගත් තරම් දැවැන්ත වැටුපක් එනම් මාසිකව රු. 625,989.84 ක වැටුප් ලබන අතර එහි මාසික ආදායම ලක්ෂ 12ක් පමණි.

මෙයට පෙර ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයාට රු. ලක්ෂයක දීමනාවක් පමණක් හිමි වූ අතර ඒ සමග සසඳන විට වර්තමාන සභාපතිවරයා දැනටමත් අවුරුදු 4ක නැතහොත් මාස 48ක වැටුප් ලබාගෙන තිබේ.

මෙයට පෙර මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායකද ගුවන්විදුලිය, ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය වැනි ආයතනවල සභාපති ධුර දැරූ අතර ඔවුන් කිසිවෙකු මෙවැනි විශාල වැටුපක් ලබා නොමැත. එසේම එම යුගවල මෙම ආයතන පාඩු ලබා නැත. සේවක වරප්‍රසාද කප්පාදු කළේද නැත.

මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන පරිදි 2026 වසරේ මුල් මාස හය තුළ ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය ලබා ඇති සමස්ත පාඩුව රු. මිලියන 271කි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස