ගුරු විදුහල්පති සංගම් කිහිපයක් වර්ජනය අතහරී…! 21 සිට පාසල් එන්න සූදානම්…!

October 14, 2021 at 7:15 am | by emanisa.lk

වැටුප් වැඩි කිරීම් යෝජනාවන්ට එකඟතාව පළ කර, සේවයට වාර්තා කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් කිහිපයක් තීරණය කර තිබේ.

ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය සහ රත්නපුර දිස්ත්‍රික් ගුරු – විදුහල්පති සංගම් එකමුතුව ඊයේ (13) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡා කිහිපයක දී මේ තීරණය ප්‍රකාශ කළේය.

මෙහි දී ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පැවසුවේ අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී යෝජනා කිසිවකට විරෝධයක් නොදැක්වූ වෘත්තීය සංගම් නියෝජිතයන් සාකච්ඡාවෙන් පසුව මෙවැනි තීරණයක් ගැනීම දරුවන්ගේ අනාගතය අඳුරට යවමින් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට දරන උත්සාහයක් බවයි.

එවැනි කූඨ උත්සාහයන් පරාජය කරමින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එක්වන්නැයි සියලු ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය පැවසුවාය.

මේ අතර ඇතැම් වෘත්තීය සංගම් ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවන් පිළිනොගනිමින් කටයුතු කළද සිය වෘත්තීය සංගමය ආණ්ඩුවේ යෝජනාවන්ට එකඟතාව පළ කර ලබන 21 දා සිට ඉගැන්වීම් ආරම්භ කිරීමට සූදානම් බව රත්නපුර දිස්ත්‍රික් ගුරු – විදුහල්පති සංගම් එකමුතුවද ඊයේ (13) පැවසීය.

එම සංගමයේ කැඳවුම්කරු අයි. ඒ. ආර්. ඉලේපෙරුම මහතා සියලු ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ වැටුප් ගැටලුවට විසඳුම් දීම මධ්‍යස්ථ ස්ථානයකට පැමිණ ඇති බැවින් ආණ්ඩුවේ පොරොන්දු විශ්වාස කරමින් රටේ සමස්ත ගුරු – විදුහල්පතිවරුන්ට යළිත් සේවය ආරම්භ කිරීමට එක්වන ලෙසයි.

ගුරු – විදුහල්පති වැටුප් විසමතා ගැටලුව විසඳීම අදියර දෙකක් ඔස්සේ ඉටු කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සාධනීය එකඟතාවක් පළ කර තිබෙන පසුබිමක වැටුප් වැඩිවීම් සියල්ල එකවර දෙන තෙක් සිය වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් ඊයේ (13) තීරණය කළේය.

ඉකුත් ජූලි මස සිට ගුරු -විදුහල්පති සංගම් කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වීම හේතුවෙන් දරුවන් පත්ව සිටින දැඩි අපහසුතාව සලකා අධ්‍යාපන බලධාරීන් සහ වෘත්තීය සංගම් අතර සාකච්ඡා වට කිහිපයක් පැවතුණි.

කෙසේ වෙතත් එම සාකච්ඡා විසඳුමකින් තොරව නිමා වීම හේතුවෙන් පෙරේදා (12) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවතුණි.

එහිදී වැටුප් විසමතා නිරාකරණයට පත් කළ අමාත්‍ය අනුකමිටු යෝජනා අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරමින් 2022 වසරේ ජනවාරි මස තුනෙන් එකක් සහ සෙසු කොටස් දෙක 2023 වසරේ ජනවාරි මසදීත් දීමට අගමැතිවරයා එකඟතාව පළ කළ බව අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට කිසිදු විරෝධයක් නොදැක්වූ ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් ඊයේ (13) කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අගමැතිවරයාගේ යෝජනාවන්ට සාකච්ඡාවේදී අදහස් දැක්වීම් නොකළද එම යෝජනාවන්ට එකඟ නොවන බවත් වැටුප් වැඩිවීම් එකවර ක්‍රියාත්මක කරන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය.

මේ අතර ආණ්ඩුව දිගින් දිගටම සාධනීය විසඳුම් දෙන පසුබිමක පවතින ගැටලුකාරි වතාවරණය මේ දක්වා නිරාකරණයට වෘත්තීය සංගම් එකඟතාව නොදැක්වීම සම්බන්ධයෙන් මව්පියන්ගෙන්ද මේ වනවිට දැඩි අප්‍රසාදයක් මතුවෙමින් පවතී.

මතු පරපුරේ අධ්‍යාපන අයිතිය සුරැකීමේ දෙමාපිය සංසදය ඊයේ (13) කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී එහි සභාපති එච්. ඒ. ඩී. ඉන්දික පෙම්රුවන් සඳහන් කළේ දරුවන්ගේ අධ්‍යාපන සුරක්ෂිතභාවය වෙනුවෙන් රටේ සමස්ත ජනතාව නොබෝ දිනකදී පාරට බැසීමට සූදානම් බවයි.

ප්‍රශ්නයට විසඳුම් දීමට යම් සාධනීය පියවරක් ගෙන ඇති පසුබිමක අදියර ප්‍රශ්නයක් මතු කරමින් තවදුරටත් දරුවන්ගේ මනස අවුල් කරමින් වර්ජනයේ නිරතවීම දැඩි ලෙස හෙළා දකින බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් දරුවන් කෙරෙහි ඍජුව බලපාන අධ්‍යාපන අර්බුදය තවදුරටත් මෙසේ පැවතියද වැටුප් වැඩිවීම් එක්වර ලබා දෙන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය සහ ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු – විදුහල්පති සංගම් කිහිපයක් අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස