ගුරුවරුන්ට කඳුලු ගෑස් ගහන්නේ නෑ..පහර දෙන්නේ නෑ.. ගුරු අභිමානය ඔසවා තබනවා…! – ජනපති..

October 7, 2024 at 10:37 am | by emanisa.lk

වෘත්තියෙන් මැනිය නොහැකි, වැටුපෙන් මැනිය නොහැකි මහා සෙනෙහසක් ගුරු වෘත්තීය හා බැඳී පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගුරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවුඩය මෙසේය.

මෑත කාලයේ දියුණු වු සෑම රටකම දියුණුවේ ප්‍රධානතම කාර්යභාරය ඉටු කර තිබෙන්නේ අධ්‍යාපනයයි. එබැවින් අපේ රට ඉදිරියට ගෙන යමින් නව පුනරුදයක් ඇති කිරීමේ වැදගත්ම මෙවලම අධ්‍යාපනය බව අප රජය හඳුනාගෙන ඇත.

එහි නියමු කාර්යභාරය පැවරී ඇත්තේ ආදරණීය ගුරුවර ගුරුවරියන් වන ඔබ සැමටයි. ඔබේ පාසලට පැමිණෙන දරුවා ලෝකයේ මහා දැනුමත් සමඟ සටන් කළ හැකි ආකාරයෙන් මුවහත් කිරීමේ හැකියාව ගුරුවරයාට තිබේ.

වෘත්තියෙන් මැනිය නොහැකි, වැටුපෙන් මැනිය නොහැකි මහා සෙනෙහසක් ගුරු වෘත්තීය හා බැඳී පවති. ගුරු මාතාව, ගුරු පියාණන් වශයෙන් ගෞරව ආමන්ත්‍රණය ලබන එකම වෘත්තිය ගුරු වෘත්තිය පමණි.

නමුත් ගුරුවර ගුරුවරියන් හටත් අනාගත බලාපොරොත්තු තිබේ. එම බලාපොරොත්තුද හැකි උපරිමයෙන් මල් ඵල ගන්වමින් ගුරුවරුන්ට කඳුළු ගෑස් එල්ල නොකරන, පහර නොදෙන ආණ්ඩුවක් තුළ ගුරුවරයාගේ අභිමානය ඉහළට ඔසවා තැබීම අපේ අරමුණයි.

ජීවන ගමනේ මං පෙත් විවර කරමින් සුවහසක් දූ දරුවන්ගේ නැණැස පාදන්නට කැපවී සිටින ගුරු මා පියන්ට ලෝක ගුරු දිනය උපහාරයක්ම වේවා යි ප්‍රාර්ථනා කරමි !

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *