ගමට පාර කැපෙද්දි අඬන මහාරාජලා ඇමතිලා හන්තාන රක්ෂිතේ කපද්දි අඬන්නේ නෑ…! අඬවන්නෙත් නෑ….! – ජනපති….

March 20, 2021 at 8:17 pm | by emanisa.lk

තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ගම සමඟ පිළිසඳර වැඩසටහනට අද (20) වලපනේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“දැන් තමුන්නාන්සේලා දන්නවානේ මම එනවා කිව්වමත් පාර හැදෙනවා. එක් කොච්චර ලොකු දෙයක්ද. දැන් මාව තමුන්වහන්සේලා පත්කළේ මාස 60කට. දැනට මාස 14ක් ගිහිල්ලා. තව තියෙනවා හොඳ ගානක්. ඉතින් සමහර අය මම ආයෙත් එන්නෙ නැහැ කිව්වා කියලා කලබල වෙලා තිබුණා. ඒක ජනතාව තීරණය කරරන්නේ. මේ පාරත් ජනතාවයි තේරුවේ.

ඉස්සෙරලා මට දීපු 60 වැඩ කරලා පෙන්න ඕනේ නේද හාමුදුරුවනේ ඊට පස්සේ තමයි ඉතුරුවා හිතන්නේ. මගේ අවශ්‍යතාව මේ මාස 60 තුළ විශේෂයෙන්ම අපේ ගම්මාන දියුණු කිරීම. හැමදාම නගරයට විතරක් වැඩ කරන්න බැහැ. අද අවාසනාවන්ත සිද්ධියක් වුණා පස්සර බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට වැටිලා. මේ පාරවල් පටුයි. බස් වේගයෙන් යනවා. හැබැයි පාරවල් පටුයි.

මම කවදාවත් පරිසරය විනාශ කරලා නැහැ. උද්‍යාන හැදුවා, ජලාශ හැදුවා, තෙත්බිම් ආරක්ෂා කළා. මේ කොළඹ නගරයේ, පිළියන්දල, කැස්බෑව මේවා තමයි පරිසරය හැදෙනවා කියන්නේ. කුණු ඉවත් කළා. අපි විහාර මහාදේවි උද්‍යානය හොඳට හැදුවා. ඊයේ ඒකේ විශාල බිල් බෝඩ් එකක් ගහලා රූප වගයක් ඇඳලා. ඒකෙන් පරිසරය විනාශ කරනවා. මම කොළඹ පෝස්ටර් ගහන එක නැවැත්තුවා. බිල් බෝඩ් ගැහිල්ල නැවැත්තුවා.

මම දැක්කා අද පත්තරේ තියෙනවා. ඔය කෑගහන විපක්ෂයේ කෙනෙක් දුවට හන්තාන රක්ෂිතයෙන් තෑගි ඔප්පුවක් දීලා. ඉතින් ඒක සුද්ද කරලා ඇමතිවරුන්ට ඒවා කරන්න පුළුවන්. හන්තාන විනාශ කරද්දි අඬන්න, අඬවන්න කෙනෙකුත් නැහැ. පුදුම මාධ්‍ය තියෙන්නේ. දැන් හාමුදුරුවනේ මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහගේ නිදහස නෙමෙයිනේ. මාධ්‍ය අයිතිකාරයාට ඕන විදිහට රට කරන්න හදනවා නම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරාජලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. රජය, පාලකයෝ පාලනය කරන්න හදනවා. මාත් එක්ක ඒවා බැහැ. ඒවට කරන්න ඕන දේවල් මම දන්නවා. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා.

මම මාස 14ක් පාලනය කළා. මම කිසිම මාධ්‍යයකට බලපෑම් කරලා නැහැ. ඒ අය වැරදියට පාවිච්චි කරන්න ආවොත්. ඒකටත් නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා මම ක්‍රියාත්මක කරනවා. ජාතික චින්තනය තියෙන මාධ්‍යයත් බොරු ප්‍රචාර යවනවා. මම හොයලා බැලුවා කවුද කියලා. යුද්ධ කාලෙත් ඒ අයම තමයි අපිට විරුද්ධව වැඩ කළේ. පුවත්පතක හිටපු කණ්ඩායමක් ඕවා කරන්නේ.

2015 සිට 2019 දක්වා පුත්තලමේ අක්කර 25‍8ක්, මොනරාගල අක්කර 100ක්. රත්නපුර අක්කර 42ක්, අනුරාධපුර අක්කර 224ක්. කුරුණෑගල අනවසරයෙන් අක්කර 77ක් එළි කරලා. දැන් මේවට කවුරුත් ඇඬුවෙත් නැහැ බැලුවෙත් නැහැ. මේවා ඒ අය දැක්කේ නැහැ. ඒ අයට අවශ්‍ය රජයක්නෙ තිබුණේ. බොරු ප්‍රචාර ගෙනියනවා ජ.වි.පෙ පරිසරවේදියෝ අර මුහුණු පොතේ දානවා. සිංහරාජේ අවසන් ගමන් ගිය තවත් ගහක් කියලා දානවා. හැබැයි මොක්ද මේ ඉන්දියාවේ ඔඩීෂා නගරයේ ගහක් කපපු එකක් උඩුඳුම්බර වන විනාශය කියලා දානවා. ඒක මේ රටේවත් නෙමෙයි. ඉතින් ජනතාව මුලා කරන්න බොරු ප්‍රචාර ගෙනියනවා. මේවාට රැවටෙන්න එපා.”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර 15 වැනි අදියර අද ක්‍රියාත්මක වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමිනි.

එම ගම්මානයට පැමිණෙන අනරතුර ජනාධිපතිවරයා මඟදෙපස රැස්ව සිටි ගම්වාසීන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

adaderana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස