කොළඹ අක්කර 185ක් නොමිලේ ප්‍රකට ව්‍යාපාරිකයාට…! කැබිනට් පත්‍රිකාවෙන් ආණ්ඩුව හෙල්ලෙයි…!

January 23, 2022 at 8:47 am | by emanisa.lk

කඩුවෙල ආසන්නයේ පිහිටි රජය සතු පැරණි වානේ සංස්ථාවේ අක්කර 185ක් පමණ විශාල ඉඩම නොමිලේ ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමැතිවරු ගණනාවක් දැඩි විරෝධය පළ කළහ.

මේ ගනුදෙනුවට සිය දැඩි විරෝධය පළකර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ ප්‍රමුඛ අමාත්‍යවරුන් පිරිසකි. අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ මෙම ඉඩම මෙලෙස පැවරුවහොත් මීට පෙර වෝටර්ස් එජ් ඉඩම පැවරීම උසාවියෙන් අවලංගු කළ පරිදි ගනුදෙනුව අවලංගු කර නැවත ඉඩම රජයට පැවරෙනු ඇති බවය.

මෙහිදී කැබිනට් ලේකම්වරයාගෙන් මෙහි නෛතික තත්ත්වය ගැන මතය ද අමාත්‍යවරුන් විමසා තිබේ. ප්‍රවීණ පරිපාලන නිලධාරියකු වන කැබිනට් ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු ඒ අවස්ථාවේ ප්‍රකාශ කර ඇත්තේ රජයේ කිසියම් ඉඩමක් නිදහස් දීමනා පත්‍රයකින් පැවරිය හැක්කේ ආගමික හා සංස්කෘතික කටයුත්තකට පමණක් බවය. ව්‍යාපාරවලට ඉඩම් පැවරිය යුත්තේ දිගුකාලීන බදු පදනම යටතේ රජයේ තක්සේරුවකට මිස නිදහස් දීමනා පත්‍රය මගින් නොවන බව ද ඔහු කියා ඇත.

මේ ආකාරයට එම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් මතු වූ දැඩි විරෝධය නිසා ඉඩම පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගැනීමට අමාත්‍ය චන්ද්‍රසේනට සිදු වූ බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස