කොරෝනාවට බියෙන් ඉන්දියානුවන් ලංකාවට පළා ඒමේ අවදානමක්! නාවික හමුදාව මුහුදු ආරක්ෂක වළලු තරකරයි!

June 7, 2020 at 9:29 am | by emanisa.lk

ඉන්දියාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය වැඩිවීමත් සමඟ එරට සිට පිරිස් බෝට්ටු මඟින් මෙරටට පැමිණීම වළක්වාලීම පිණිස පෝක් සමුද්‍ර සන්ධිය හා අවට මුර සේවා වැඩි කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

ඉන්දියාවේ තමිල්නාඩු ඇතුළු ප්‍රදේශ රැසක තවමත් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව පදිංචිව සිටින අතර එයින් බොහෝ දෙනා දශක දෙකකට අධික කාලයක් එරට පදිංචිව සිටිති. ඔවුන්ගේ දූ පුතුන් පවා එරට රැකියාවල නිරතව සිටින හෙයින් මෙරට ස්ථිර පදිංචියට පැමිණීමට තුන්දහසකට අධික ජනතාවක් කටයුතු කර නොමැත.
එසේ වුවත් කොරෝනා ව්‍යාප්තිය නිසා පසුගිය සතියේ එසේ ඉන්දියාවේ සිට දෙදෙනකු බෝට්ටු මඟින් පැමිණ මඬු පොලිසියට භාරවීමෙන් පසු නිරෝධායනයට යොමු කර ඇති අතර ඉදිරියේදී තවත් පිරිස් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බවද ඔවුන් විසින් පවසා තිබේ.

එමෙන්ම ඉන්දීය ජනතාවද කොරෝනා රෝගයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් ලෙස පිළි ගෙන ඇති හෙයින් ඔවුන්ගේ අනවසර සංක්‍රමණයක් පවා සිදුවිය හැකි නිසා මුර සංචාර වැඩි කර ඇත.

මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් ඉසුරු සූරියබණ්ඩාරගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ උතුරු මුහුදේ පමණක් නොව මේ වන විට සමස්ත මුහුදු කලාපයේම මුර සේවා තර කිරීමට නාවික හමුදාව විසින් කටයුතු යොදා ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *