කොටස් වෙළෙඳපොළ ඓතිහාසික පිබිදීමක්…! සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි…! රු. බිලියන 12 ක පිරිවැටුමක්….! වැඩි ම ගනුදෙනු සංඛ්‍යාවත් අද…!

January 16, 2021 at 12:15 am | by emanisa.lk

මෙ රට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී.

මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි. මෙය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ වැඩි ම අගයයි.

තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩි ම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙස අද දිනය ඉතිහාසයට එක්වනු ඇත. 2011 පෙබරවාරි 15 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 255 ක ඉහළ යාම මෙතෙක් ඉහළම වර්ධන අගය ලෙස සැලකිනි.

මේ අතර අද දින රු. බිලියන 12.46 ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් සටහන් වීම ද විශේෂත්වයකි. තව ද කොළඹ කොටස් වෙළෙඳපොළ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාවේ වාර්තාව නැවත වරක් අලුත් කරමින් අද දින කොටස් ගනුදෙනු 60,818 ක් වාර්තා වී තිබේ. මීට පෙර පසුගිය බදාදා (13) දිනයේ දී 51,862 ක ගනුදෙනු ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස