කැකුළු තුරු උදානය ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසල් භූමියේ දී ආරම්භ කෙරිණ.
සෑම වසරකම පළමු වැනි ශ්‍රේණියට පිවිසෙන දරු දැරියන් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්දහසකට ආසන්නය. ඔවුන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත්කිරීම සහ “සෞභාග්‍යයේ දැක්ම” හඳුන්වා දුන් තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම වැඩසටහනේ අරමුණයි.
කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව වැඩසටහන ක්‍රියාවට නංවයි. අද ඇරඹුණු “කැකුළු තුරු උදානය” වාර්ෂිකව ඉදිරියට යයි. වසර 05ක් ගත වන විට කොස්, දෙල්, පොල්, අඹ ඇතුළු පැල ලක්ෂ 17ක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කයයි. නාගරික දරු දැරියන්ට තම ප්‍රදේශවලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ ශාඛ සහ ගෙවතු රහිත නිවාසවල පදිංචි දරුවන්ට බඳුන්ගත පැළයක් සපයනු ලැබේ.
පැළ බෙදාදීම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මගින් කෙරෙන අතර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් මගින් වාර්ෂිකව දරුවා සහ පැලය පිළිබඳ වාර්තාවක් සැකසීමට ද සැලසුම් කර ඇත.