වෙළෙඳපොළේ ක්ෂණික ආහාර වර්ග මිල වැඩිවීමත් සමග අධි තරබාරුවෙන් පෙළෙන සහ දියවැඩියාව වැළඳෙන රෝගීන් වාර්තා වීම අඩු වී ඇති බව වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශය සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මෙයට හේතුව වී ඇත්තේ වෙළෙඳපොළේ ඇති අධික මිලකින් යුතු ක්ෂණික ආහාර මිල දී ගැනීමෙන් වැඩිහිටියන් සහ දරුවන් බොහෝ සෙයින් වැළකී සිටීම බව හඳුනාගෙන ඇත.
ග්‍රාමසේවා නිලධාරි කොට්ඨාස එකසිය පහක් ආශ්‍රයෙන් වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශය මෙම සමීක්ෂණය සිදු කර ඇත. විශේෂයෙන් ළමයින්ට දියවැඩියාව වැළඳීම සහ අක්මාවේ තෙල් එකතුවීම වැනි රෝග විශාල වශයෙන් අඩුවී ඇති බව ද මෙම සමික්ෂණයෙන් තහවුරු වී තිබේ.
වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ප්‍රකාශ කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සිදුකළ එම සමීක්ෂණයට ලක්වූ පුද්ගලයන්ගෙන් සියයට හැත්තෑපහක් පමණ මේ වන විට අධි තරබාරුවෙන් අත් මිදී ඇති බවය.
මෙය ඉතා හොඳ ප්‍රවණාතාවක් බවත් ක්ෂණික ආහාර භාවිතයෙන් ඉවත් වී පෝෂ්‍යදායි ආහාරවලට හුරුවීම අඛණ්ඩව සිදු කිරීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.