සන්නද්ධ අරගලවලට සම්බන්ධ වූ අයකු ලෙස අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතක නැවත සන්නද්ධ අරගලයකට සම්බන්ධ වීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
බලය මාරු කිරීම සඳහා ඡන්ද බලය පාවිච්චි කිරීම පිළිබඳ ආසියාවේ අනෙකුත් රටවල ජනතාවට වඩා මෙරට ජනතාවට 1931 සිට අත්දැකීම් තිබෙන බව ද ඒ මහතා කීය.
ජාතික ජන බලවේගයේ සෙංකඩගල මැතිවරණ කොට්ඨාස සමුළුව පෙරේදා (05) පැවැති අවස්ථාවේ සභාව අමතමින් ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේය.
ඡන්ද බලයෙන් ආණ්ඩු වෙනස් කිරීමට අමතරව සන්නද්ධ අරගලවලින් ද ආණ්ඩු පෙරළීමට උත්සාහ කළ අවස්ථා මෙරට ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ යැයිද හෙතෙම අවධාරණය කළේය.
හැත්තෑපස් වසරක ශාපයෙන් රට මුදාගෙන යහපත් රටක් ගොඩනැඟීම සඳහා වන අරමුණ ජය ගැනීමට නම් රාජ්‍ය බලය ලබාගත යුතුව තිබෙන බවත් ඒ සඳහා සියලු ජන කණ්ඩායම් පක්ෂය වටා ඒකරාශී කරගත යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
පවතින තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා හැකියාව ඇති එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව වාසුදේව නානායක්කාර මහතා පවා පසුගියදා ප්‍රකාශ කර තිබෙන බව ද ලාල්කාන්ත මහතා පැවසුවේය.
ලබන වසරේ අගෝස්තුවේදී ජනපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙන බවත් එහිදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ජනතාව ඒකාරාශි වෙමින් තිබෙන බවත් කී ඒ මහතා විවිධත්වයෙන් යුත් සියලු කණ්ඩායම්වල සහාය එහිදී ලබා ගැනීම අතිශයින් වැදගත් යැයි ද අවධාරණය කළේය.
අසේල කුරුළුවංශ
දිනමිණ