එක රටක් එක නීතියක් බලකාය ගැන පුදුමයි…! අප රිදවන ඥානසාර හිමිට තනතුරක් දීම ගැන කනගාටුයි..! – උලමා සභාව..

October 30, 2021 at 7:36 am | by emanisa.lk

එක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති තනතුර සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරිම සම්බන්ධයෙන් සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සභාව සිය කනස්සල්ල ප්‍රකාශ කරයි.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙයින් මුස්ලිම් ජනතාව විවිධ ආකාරයෙන් පීඩාවට පත්වේ යන බියක් මුස්ලිම් ජනතාව තුළ මතුව තිබෙන බවයි.

“එකම රටක්, එකම නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම පිළිබඳ දැන අප විමතියට පත්ව ඇත්තෙමු. මෑත කාලයේදී මෙම තේමාව පොදු මාතෘකාවක් වශයෙන් පැවතීම අප සැම දන්නා කරුණකි. දිවයිනේ වෙසෙන සියලුම පුරවැසියන් ශ්‍රී ලංකා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුව “එකම රටක් එකම ප්‍රජාවක්” ලෙස සියවස් ගණනාවක් ඔවුනොවුන් තම ආගමික සංස්කෘතීන් සහ සාරධර්ම අනුගමනය කරමින් ආගමික නිදහස මත පදනමව ජීවත් වන්නෝය.

විවිධ දහම්වලට ගරු කරන ආගමික නායකයන් රැසක් ජීවත් වන මෙරට තුළ දහම් අපහාසයන්හි නියැලෙන සහ මුස්ලිම්වරුන්ගේ ධාර්මික හැඟීම් රිදවන ආන්දෝලනාත්මක කෙනෙකු වගකීම් සහගත තනතුරකට පත්කිරීම පිළිබඳ අප කනස්සල්ලට හා අතෘප්තියට පත්ව සිටින්නෙමු.

මෙයින් මුස්ලිම් ජනතාව විවිධ ආකාරයෙන් පීඩාවට පත්වේ යන බියක් මුස්ලිම් ජනතාව තුළ මතුව තිබෙන්නේය. මේ පත්කිරීම ජාත්‍යන්තර මට්ටමින් අප රටට අගෞරවයක් ගෙන දෙන කරුණක් වශයෙන් පවතින්නේය.

අප මව්බිම හා ජනතාව තුළ සාමය, සමගිය, සෞභාග්‍යය, නීරෝගීභාවය සහ අභිවෘද්ධිය ඇති වී සියලු දෙනාම සමගියෙන් ජීවත් වීමට අප අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *