විභාග ප්‍රතිඵලය මතම අනාගතය තීන්දු කරන්න එපා…! තමන්ට ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵල ගන්න…! – ඩඩ්ලි සිරිසේන….

May 5, 2021 at 9:46 am | by emanisa.lk

කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීම නිමිත්තෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

ඊයෙ උසස් පෙළ දරුවන්ගෙ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ නිකුත් වුණ ප්‍රතිඵල එක්ක ගොඩක් අය තමන්ගෙ අනාගත ඉරණම, දැන්ම ඉඳන්ම තීරණය කරලා තිබුණ බව මම දැක්කා. ඒ අතරිනුත් ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුණෙ ව්‍යවසායකයෙක් වෙන එක මිසක්, වැඩිදුර අධ්‍යාපනයක් ලබන එක නෙමෙයි. ඒ නිසයි හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නත් එක්ක මම මේ කතාව කියන්න හිතුවෙ.

ඔයාල හැමෝම දන්න විදියට ඒ කාලෙ තිබුණ දුෂ්කරතා එක්ක මට ඉහළට අධ්‍යාපනය ලබන්න අවකාශ නොලැබුණත්, වාසනාව සහ චිත්ත ධෛර්යය මත මම ව්‍යාපාර ගණනාවක් ගොඩනඟාගත්තා. ඒ අතරිනුත් බොහෝ ව්‍යාපාර අතිශයින් සාර්ථක වෙන්න මූලික අඩිතාලම බවට වුණේ මගේ අත්දැකීම්, යාවත්කාලීන වීම සහ මූල්‍ය විනය කියන ගුණාංගයි. එකාතකින්, ඒක මගේ දෛවය සහ ලැබීම වෙන්න ඇති. ඒත් එහෙම වුණා කියලා, මම මගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක කිසිම මොහොතකකදිවත් අතපසු කළේ නෑ.

මම එයාලගෙ මූලික අධ්‍යාපනයෙ සිට ද්විතීය, තෘතීය සහ වෘත්තීමය අධ්‍යාපනය වෙනකල්ම පසුපසින් සිටගත්තා. මට සල්ලි තිබුණ කියල කිසි දවසක මම මගේ දරුවන්ව අධ්‍යාපනයක් සහ දැනුමක් නොමැතිව මගේ ව්‍යාපාරවලට සහ සම්බන්ධ කරගත්තෙ නෑ. උදාහරණයක් ලෙස මගෙ පුතා වෘත්තියෙන් ගුවන් නියමුවෙක්. ඒත්, ඔහු ඔහුගෙ වෘත්තීමය හැදෑරීම් නිමා කරලා අද වෙනකොට මගේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට මගේ ව්‍යාපාර මෑතකාලීනව තාක්ෂණයත් සමඟ දියුණු වුණේ ඔහුගේ දැනුම සහ සංකල්ප මත කියන දේ මම පිළිගන්නවා. මොකද නිසි අධ්‍යාපනයක වටිනාකම අපිට මෙතෙකයි කියා නිමකරන්න බැරි නිසා.

ඒ නිසා මට ඔය දරුවන්ට කියන්න තියෙන්නෙත් ඒ ටිකම පමණයි. ඔයාලට ඉගනගන්න පුළුවන් කාලෙ අනිවාර්යයෙන්ම ඉහළටම ඉගන ගන්න. නව දැනුම, තාක්ෂණය සමඟ යාවත්කාලීන වෙන්න. මොකද ඕනම ව්‍යවසායක් වෙනුවෙන්, අධ්‍යාපනය මත ලබන අත්දැකීම් ජීවිතයට බොහෝ සෙයින් වැදගත් වන නිසා. ඒ නිසා එක් ප්‍රථිඵලයක් මත තමන්ගෙ ජීවිතයම තීන්දු නොකර, ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න.

තෙරුවන් සරණයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *