උතුරේ ජනතාව කුල ප්‍රශ්නය නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බවත්, යාපනය මගහැර කොළඹ ජීවත් වන දේශපාලනඥයන් එම ගැටලුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කනගාටුවට කරුණක් බවත් අරුන් සිද්ධාර්ත් පවසයි.
උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් අතර හමුවක් පෙරේදා (06) යාපනයේදී පැවති අවස්ථාවේ මේ කරුණු හෙළිවිය.
කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජය තුළ පවතින ගැටලු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර එම ගැටලු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
උතුරු පළාතේ හීන කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නොමැති බැවින් ගැටලු මතුව ඇති බව ද පැවසූ අරුන් සිද්ධාර්ත් ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. එවැනි පාසල් 100ක් නම් කරන ලෙසත්, එම පාසල් 100 ඉදිරි මාස 06 තුළ සංවර්ධනයට පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය.
කුල ප්‍රශ්න ඉදිරියට දමමින් මහජන ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධයෙන් සොයා බලන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් මෙහිදී කියා සිටියේ අතුරුදන් වූවන්ගේ පවුල් බව පවසමින් සංගම් නිර්මාණය කරගෙන සිටින බහුතරයකගේ අතුරුදන් වූවන් සිටින්නේ විදේශ රටවල බවයි. ඒ සම්බන්ධයෙන් අතුරුදන් වූවන්ගේ සංගමයේ ඕනෑම අයකු සමඟ විවාදයකට තමන් සූදානම් බවත් ඔවුන් අතුරුදන් වූවන් යැයි පවසමින් විදේශගතව සුඛෝපභෝගී ජීවිත ගතකරමින් සිටින බවත් සිද්ධාර්ත් වැඩි දුරටත් සඳහන් කළේය.
යාපනයේ ජනතාව මුහුණ දී සිටින කතාබහට ලක් නොවන ගැටලු ඇතුළත් ලිපියක් ද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ ක්‍රියාකාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.