උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය රකින්න පියවර ගන්න…! – අගමැති…

February 11, 2022 at 1:18 pm | by emanisa.lk

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ දැනට පවතින ගැටලු විසඳීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේ උපදෙස් දුන්නේ, ඊයේ (10) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවේ දී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.

නාගදීප රජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පත්කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය එළැඹෙන මාර්තු මස පැවැත්වීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.

සිවුපස ආධාර ලබා දීමේ වැඩසටහන තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ආරම්භ කළ වැඩසටහනක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දුෂ්කරතා තිබෙන විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව පැවසීය.

උතුරු හා නැගෙනහිර පළාත්වල පූජා භූමි හා පුරාවිද්‍යා ස්ථානවල දැනට පවතින ගැටලු නිරාකරණය කරමින් ඒවායේ ඇති ශිලා ලේඛන ඇතුළු පුරාවිද්‍යා උරුමය අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කළ යුතු බවද අග්‍රාමාත්‍යතුමා මෙහි දී අවධාරණය කළේය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් පූජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නාහිමි, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, පූජ්‍ය මැදගමුවේ විජයමෛත්‍රී අනුනාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *