උතුරු නැඟෙනහිර ඡන්දයෙන් ජනාධිපති තෝරන යුගය අවසන් කළ යුතුයි…! ඡන්ද වගේ ම භූමියේ ජයග්‍රහණයක් පදනම් කරගත් අලුත් ක්‍රමයක් ඕන…! – ගෙවිඳු….

October 8, 2021 at 8:03 am | by emanisa.lk

එක්තරා සුවිශේෂ ඡන්ද කොට්ඨාශ කිහිපයක සුවිශේෂ වැඩි ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයා තෝරාපත්කරන මැතිවරණ ක්‍රමය අවසන් කළ යුතු බව ගෙවිඳු කුමාරතුංග පවසයි.

යුතුකම ජාතික සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ගෙවිඳු කුමාරතුංම ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන යටතේ ගෙන එන සංශෝධන මගින් බලාපොරොත්තු වන්නේ අවු. 18 සම්පූර්ණ කරන තරුණ තරුණියන්ට අවු. 18 සම්පූර්ණ කිරීමත් සමඟ ම එළඹෙන මැතිවරණවල දී ඡන්දය භාවිත කිරීමට ඉඩ සැලසීමයි. මේ සඳහා මේ ගරු සභාවේ සමස්ත එකඟතාව තිබෙන බව මම විශ්වාස කරනවා.

මෙයට පෙර ඡන්ද බලය ශක්තිමත් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම වැනි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ගෙන ආ සංශෝධන සඳහා අපගේ කෘතඥතාව පුද කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්න මම කැමැතියි.

මෙම තාක්ෂණික කරුණුවලින් පරිභාහිරව අප අද අත්දකින යථාර්ථය පිළිබඳ අවධානය යොමු කළොත් ඡන්දදායකයා සහ මහජන නියෝජිතයා අතර බැඳීම 1977 හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමය නිසා බිඳ වැටී ඇති බව අප දන්නවා. මුළු දිස්ත්‍රික්කය පුරා එක ම පක්ෂයේ අපේක්ෂකයින් අතර පවා තරඟයක් ඇති කර ගනිමින් විශාල ධනස්කන්ධයක් වැය කරමින් ප්‍රචාරණ කටයුතුවල යෙදීමට සිදුවීම සහ අද මෙරට සිදුවන දූෂණ අතර සහසම්බන්ධයක් ඇති බවත් මෙම ඡන්ද ක්‍රමය අවසන් කරන තුරු එම දූෂණ පිටුදැකීම සිහිනයක් බවත් අද මහජන මතය බවට පත්ව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා කොට්ඨාශයට මහජන නියෝජිතයෙක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් සැකසුව ද ඒ ඒ පක්ෂවලට ලැබෙන ඡන්ද අනුපාතය අනුව මහජන නියෝජිතයින්ගේ අනුපාතය විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය ආදී සුළු පක්ෂ ගෙන ආ සංශෝධන නිසා එල්ලූ ආසන ආදී විකෘතීන් තුළ පොළොවේ ප්‍රායෝගික යථාර්ථය වී ඇත්තේ කොට්ඨාශයක් දිනා ගන්නා මන්ත්‍රීවරයා සහ මහජන බැඳීම බලාපොරොත්තු වූ ආකාරයෙන් ශක්තිමත් නොවීමයි.

මේ නිසා තර්කමය නැත්නම් ගණිතමය යුක්තිය ඉටු කිරීම්වලට වඩා මේ පොළොවේ ඡන්දදායකයා සහ මහජන නියෝජිතයා අතර සහසම්බන්ධය සවිබල ගැන්වීම අද අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙනවා. මේ වන විට මැතිවරණ පිළිබඳ විශේෂ තේරීම්කාරක සභාවක් මගින් මෙන් ම රටට ඔබින නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක් මගින් ද අප රටේ මහජන අභිලාෂය ප්‍රකාශයට පත්කිරීම ක්‍රියාවට නැඟීම සහ එය ක්‍රියාවට නඟන ආකාරය පිළිබඳ සංවාදයක් කෙරෙමින් තිබෙනවා.

විශාල ජනතා ප්‍රතිවිරෝධයක් තිබිය දී ඉන්දු-ලංකා ගිවිසුම මගින් කෘර මර්දනයක් මැද පිහිට වූ පළාත් සභා පිළිබඳ විශාල අදහස් සම්භාරයක් ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කර ඇති විශේෂඥ කමිටුව වෙත විවිධ දේශපාලන පක්ෂ, ජාතික සංවිධාන සහ මහජන සංවිධාන මගින් ඉදිරිපත් කර තිබෙන බව දැනගන්නට තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යාපනය ආදී විෂය සම්බන්ධයෙන් මුළු රටට ම බලපාන ඒකීයත්වයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද 2020 වසරේ ජාතිය අමතමින් ප්‍රකාශ කොට තිබෙනවා.

ඒ වගේ ම මේ දිනවල පළාත් සභා ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළවෙමින් පවතිනවා. පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ නොමැති බව පසුගිය දා ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිතුමා මේ සභාවට ප්‍රකාශ කළා.

පසුගිය රජයේ නිල, නොනිල සියලු ම පාර්ශ්වකරුවන්ගේ එකතුව පළාත් සභා පනතට ගෙන ආ සංශෝධන මගින් පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව අපි කවුරුත් දන්නවා. ඔවුන් අද සමගි ජනබලවේගය හැටියට වෙන්ව සිටියත් එදා එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධාන සහ මුස්ලිම් කොංග්‍රසය ලෙස පළාත් සභා පනත විකෘති කර මැතිවරණයක් පැවැත්විය නොහැකි තත්ත්වයක් නිර්මාණය කරන්න ඡන්දය භාවිත කළා.

ඒ විකෘතිය වෙනුවෙන් ඡන්දය භාවිත කළ මුස්ලිම් කොංග්‍රස් නායකතුමා පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාව ගැන නැවතත් අදහස් පළකරන ආකාරය අපි පසුගිය දවස්වල දැක්කා. නමුත් එදා ඔවුන් තම ආණ්ඩු බලය දුර්වල වීමට වඩා පළාත් සභා අක්‍රිය වීම සුදුසු යැයි සිතා කටයුතු කළ බව රටට ම පෙනි ගියා.

පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට මෙරට දෙමළ දේශපාලන පක්ෂ ඉන්දියාවට එල්ල කරන බලපෑම මෙරට ආණ්ඩුවට එල්ල නොකිරීම විශාල ප්‍රශ්නයක් බව පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම්තුමා ද ප්‍රකාශ කළා. එසේ කිරීමේ හැකියාව, සුජාතභාවය ඔවුන් විසින් ම අහිමික කරගෙන ඇති බවත් ඉන්දීය රජයේ ම අනුග්‍රහය ලබමින් බලයට ආ යහපාලන රජය යටතේ ම එය සිදු කර තිබීමත් සැලකිල්ලට ගෙන ඉන්දීය රජය ද මේ රටේ බහුතරයක් ජනතාවගේ මතයට සංවේදී වීම වඩා යෝග්‍යයයි යන්න අපගේ අදහසයි.

පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් නැත්නම් සමස්ත මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අපගේ යුතුකම සංවිධානය ඇතුළු විවිධ සංවිධාන මේ වන විට නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත්කර ඇති විශේෂඥ කමිටුවට වගේ ම මැතිවරණ සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂ කාරක සභාවටත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එහි දී 2015 ජනාධිපතිවරණයේ දී මේ රටේ සමස්ත භූමියෙන් විශාල ප්‍රදේශයක පැරදුණු අපේක්ෂකයා යම් යම් සුවිශේෂ ඡන්ද කොට්ඨාශවල ලද සුවිශේෂ ජයග්‍රහණය පමණක් සැලකිල්ලට ගෙන සමස්ත රටේ නායකයා වීම පිළිබඳ විකල්ප යෝජනා පිළිබඳ අපි සාකච්ඡා කළා. ඡන්ද ප්‍රමාණය වගේ ම භූමිය යන කරුණු දෙක ම සැලකිල්ලට ගනිමින් ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ආකාරයේ මැතිවරණ ක්‍රමයක් අප යෝජනා කොට තිබෙනවා.

ඒ වගේ ම සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඡන්දදායකයා සහ මහජන නියෝජිතයා අතර සිදුව ඇති විතැන්වීම නිවැරදි කිරීමට නම් අවම වශයෙන් සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් 70%කවත් ඒ ඒ කොට්ඨාශ නියෝජනය කරන මහජන නියෝජිතයින් නියෝජනය කරන මැතිවරණ ක්‍රමයක් අප විසින් බලාත්මක කළ යුතු බව අප විශ්වාස කරනවා.

එහි දී විවිධ ජන කොටස්, විවිධ අදහස් නියෝජනය කිරීම සඳහා සමස්ත නියෝජනයෙන් 20%ක ප්‍රතිශතයක් හොඳ ම පරාජිතයින්ට ලැබෙන ආකාරයටත්, ඉතිරි 10% මුළු රටේ ම සමස්ත ඡන්ද ප්‍රමාණය පදනම් කරගෙන පත්කරන ජාතික ලැයිස්තු නියෝජනය සඳහාත් වෙන්කිරීම ඔස්සේ සියලු කොටස්වල මතය මේ ගරු පාර්ලිමේන්තුවේ නියෝජනය වීම සුරක්ෂිත වන බව අපගේ අදහසයි.

ඒ වගේ ම පළාත් පාලන ආයතනවල ද ඒ ආකාරයෙන් ම මැතිවරණය පවත්වා එහි නියෝජිතයින්ගෙන් සමන්විත පළාත් සභාවක් පත්කර ඒ ඒ පළාත් සංවර්ධනය කරන සම්බන්ධීකරණ ආයතනයක් බවට පළාත් සභාව පත්කර ගැනීම රටට වැඩදායි බව අපගේ අදහසයි.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබා දුන් 69 ලක්ෂයේ ජනවරමත් සාමාන්‍ය තත්ත්වය යටතේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ලබා ගැනීම අතිශය දුෂ්කර වන්නා වූ පසුගිය මහා මැතිවරණයේ දී ලද 2/3ක මහජන වරමත් ලබා දී ඇත්තේ අපේ රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා බව අවධාරණය කරන්න කැමතියි. ඒ, බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කොට මේ රට එක්සේසත් කිරීමෙන් පසු ඒ එක්සේසත්භාවය නිරූපණය කරන්නා වූ මුළු රටේ ම ජනතාවට සෙත සලසන්නා වූ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහායි. ඒ හා බැඳුණු මේ රටේ ජනවරම ජනතා පැතුම් නියෝජනය කළ හැකි අලුත් මැතිවරණ ක්‍රමයක් රටට උරුම කිරීම සඳහායි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම පදවි ප්‍රාප්තියට දෙවසරක් ගතවීමට පළමුව එම ව්‍යවස්ථාවේ කෙටුම්පත රට හමුවේ තබන බවට අධිකරණ ඇමැති අලි සබ්‍රි මැතිතුමා මාර්ගයෙන් මේ උත්තරීතර සභාවටත් රටටත් ප්‍රතිඥාවක් ලබා දුන් බව අප කවුරුත් දන්නවා. ඒ ප්‍රතිඥාව ඉෂ්ටසිද්ධ වනු දැකීම මේ රටට ආදරේ කරන සෑම සියලු දෙනාගේ ම අපේක්ෂාවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස