ඊළඟ ඡන්දය තෙක් ආණ්ඩුව රැකීම පොහොට්ටුවේ යුතුකමයි..! – මහින්ද…

December 20, 2023 at 5:02 pm | by emanisa.lk

මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බදු බර අඩු කිරීම මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

අඩු බදු පනවමින් ආර්ථිකය ප්‍රසාරණය වන්නට ඉඩදීම 2005-2014 සිය රජයේ ප්‍රතිපත්තිය වූ බවත් එහෙයින් 2005 වන විට දළ ජාතික නිෂ්පාදනයෙන් 90%ක් වූ රටේ සමස්ත ණය ප්‍රමාණය 2014 වන විට 69% දක්වා පහත දැමීමට හැකි වූ බවත් හෙතෙම සඳහන් කරයි.

එම අඩු බර බදු ප්‍රතිපත්තියට එරෙහිව අසත්‍ය ප්‍රකාශ ඔස්සේ සමාජ වෛරයක් නිර්මාණය කළ ද දැන් බදු අඩු කරන ලෙස ඉල්ලා වෘත්තිකයින්ට පාරට බැසීමට සිදුව ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ඉදිරි මැතිවරණවල දී ඒ ඒ පක්ෂවල බදු ප්‍රතිපත්තිය කුමක් ද යන්න ජනතාව විමසා සිය ඡන්දය පාවිච්චි කළ යුතු බවත් 2015 සිදුකරගත් අත්වැරැද්දෙහි ප්‍රතිවිපාක තවමත් බුක්ති විඳින රටට තවත් එවැනි වරදක් දරාගත නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

එසේම අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයාද එම පක්ෂයේ ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් බවයි.

මෙරට ආර්ථිකයේ කොන්ද කැඩුණේ 2015-2019 ආණ්ඩුව ගත් ඇමරිකානු ඩොලර් මිලියන 10 000ක බැඳුම්කර ණය නිසා බව ද එම නිවේදනයෙහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *