ඉන්දීය ණයෙන් ගෙනා ඖෂධ 80%කට ලියාපදිංචිය නෑ…! සල්ලි කන්න අත්‍යවශ්‍ය නොවන ඖෂධත් අරන්…!

February 10, 2023 at 10:21 am | by emanisa.lk

ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධවලින් සියයට 80ක් ලංකාවේ ලියාපදිංචි ඖෂධ නොවන බවත් ඒවා සඳහා කිසිදු ඇගැයීමක් හෝ නිර්දේශයක් නොමැති බවත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඖෂධ වර්ග 36ක් සේවරිට් නම් ආයතනයෙන් ගෙන්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුව ද, එම ඖෂධ ලංකාවේ ලියාපදිංචි ඒවා නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙලෙස ඖෂධ මිල දී ගැනීම සඳහා සැපැයුම්කරුවන් තෝරාගෙන ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව බවත් කොළඹ දී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවක දී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ ය.

කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර ඇත්තේ ඖෂධවල තත්ත්වය හා මිල ගණන් සාකච්ඡා කළ යුතුය යන පදනම මත බව ද ඔහු පැවැසීය.

එසේ ම, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට ඖෂධ 270ක් ඉදිරිපත් කර ඇති නමුත් එහි අත්‍යවශ්‍ය නොවන ඖෂධ තිබෙන බවත් ලියාපදිංචියකින් තොර ඖෂධ හදිසි අවස්ථාවකට ගෙන්වීමට අධිකාරියට පනතින් බලයක් නොමැති බවත් හෙතෙම කීය.

අත්‍යවශ්‍ය ඖෂධ පමණක් ගෙන්වීමට තිබෙන මුදලින් අනවශ්‍ය ඖෂධ ගෙන්වමින් ණය ආධාර යටතේ ලැබෙන මුදල් නිරපරාදේ විනාශ වන බව ත් ඔහු පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *