ඉන්දියාව සහ ලංකාව යා කරන ගොඩබිම් මාර්ගයක් හදනවා…! – ජනපති..

February 11, 2024 at 12:27 pm | by emanisa.lk

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාව සඳහා නව මුලපිරීම් සහ ශක්‍යතා අධ්‍යයන සිදු කරමින්, දකුණු ඉන්දියාව සමඟ වෙළෙඳාම සඳහා පහසුකම් සලසන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට උත්සාහ දරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සූවස් ඇළ වැනි දැනට පවතින නාවික ප්‍රවාහන මාර්ග අනාගතය සඳහා ප්‍රමාණවත් නොවිය හැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පසුගිය 09 වැනිදා ආරම්භ වූ 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධා සිදු නොවන ලෙස වාණිජමය කටයුතු පිළිබඳ චර්යා ධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වසර 2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකථනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *