ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසයි.
“අපගේ අසල්වැසි සහ මිත්‍ර රටක් වන ඉන්දියාව අපට විශාල ලෙස උපකාර කරනවා. අප දෙරට අතර පවතින්නේ දීර්ඝකාලින බැඳීමක්. ශ්‍රී ලංකාව මුහුණ දුන් පසුගිය ආර්ථික අභියෝගය හමුවේ ඉන්දියාව මිත්‍රත්වයෙන් එහා ගියා සහෝදරත්වයිකින් යුතුව අප වෙනුවෙන් කටයුතු කළා.
මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ඉන්දීය නිල සංචාරය සමඟ එම බැඳිම් තව දුරටත් ශක්තිමත් වූ බව කිවයුතුයි. ඒ අනුව ඉදිරියේ දී දෙරට සමීප සහයෝගයකින් වැඩ කිරීමට තීරණය කර තිබෙනවා. සබඳතාව යන්න මෙහි වැදගත්කම කරුණයි. එය පුළුල් අර්ථයක් තිබෙන වචනයක්. එය මාර්ග සබඳතා, ජනතාව අතර සබඳතා, ආර්ථික සබඳතා, සැපයුම් සබඳතා හෝ ආරක්ෂක සබඳතා විය හැකියි.”
සාගල රත්නායක මේ බව සඳහන් කළේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර හැරීම හා ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීම වෙනුවෙන් ඊයේ (16) පෙරවරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයට එක් වෙමිනි.