ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කළ අය ඉන්දියාවට ගිහින් සැප ගන්නවා…! – ඇමැති නිමල් සිරිපාල…

February 9, 2024 at 2:17 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වැටලීමට පැමිණි ත්‍රස්තවාදීන්ට පහර දී එළවා දැමූ බවත් රටට උවමනා එවැනි එඩිතර නායකත්වයක් බවත් වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ වැරහැලි ඇඳගෙන සිටින අය හොඳ ඇඳුමක් ඇඳ සිටීම ද යහපත් තත්ත්වයක් බවයි.

ජනාධිපති පැහැදිලිවම කිව්වා අමාරු ගමනක් යන්නේ. ජනතාව මුදා ගන්න ක්‍රියා කරනවා කියලා. නමුත් විපක්‍ෂය අපිට ගැහුවා කියලා පාර්ලිමේන්තුවෙන් නැතිව ගියා. මෙවැනි විච්චූර්ණ වැඩවලින් ජනතාව රවටන්න බෑ. පැනලා යන එක ප්‍රශ්නයට පිළිතුරක් නොවෙයි.

ත්‍රස්තවාදීන්ට නවගුණවැල අල්ලන නායකත්වයක් නොවෙයි අපට ඕන. පාර්ලිමේන්තුවට ගහන්න ආපු වෙලාවේ ගහලා පැන්නුවා. එවැනි එඩිතර නායකත්වයක් තමයි රටට අවශ්‍ය. මේ රටේ ජනතාව ඊට කෘතවේදිත්වය දක්වන්න වෙලාවට කටයුතු කරාවි.

විපක්‍ෂ නායක ගෙනා 20 වැදෑරුම් වැඩපිළිවෙළ බාගයක් අපි කරලා ඉවරයි. මුදල් හොයාගන්නේ කොහොමද කියලා කිව්වේ නෑ. ඉන්ද්‍රජාලකයින්ට රටේ ජනතාව රැවටෙන්නේ නෑ.

අද ජනපතිවරයා ගොඩක් වෙනස්කම් ඇති කළා. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි විය යුතුයි කියපු අය අද ඉන්දියාවට ගිහින් සැප විඳිනවා. ගිය එක හොඳයි. වැරැහැලි ඇඳගෙන ඉන්න අය හොඳ සූට් ගහලා යන එක හොඳයි. අදානිට වරාය ටර්මිනල් එක දෙනවිට කොයිතරම් කෑ ගහනවාද? අද ආයෝජකයෝ හමුවෙනවා.

බය නැතිව තීන්දු ගන්න පුළුවන් ජාත්‍යන්තරය ගැන හොඳ අවබෝධයෙන් වැඩ කරන සෘජු නායකයෙක් අපට ඉන්නවා. බුද්ධිමත් ජනතාව ඔහුව ඉදිරියට ගෙනයනවා.”

නව පාර්ලිමේන්තු සැසි වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ රාජාසන කතාව පිළිබඳ විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *