ඉන්දියානු ගොවියෝ වගා කටයුතු මෙහෙය වන්නේ ජංගම දුරකතනයෙන්…! – ජනපති…

June 23, 2024 at 6:17 pm | by emanisa.lk

ඉන්දියානු ගොවි ජනතාව සිය වගා කටයුතු මෙහෙයවන්නේ සිය ජංගම දුරකතනයෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මයිලම්පාවලි චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපොළේ ද අද (23) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව පැවැති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

“අපේ රටේ වගා නොකළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා.මේ සියලු ඉඩම් වගාව සඳහා යොදාගත යුතුයි. අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතුයි. මෙරට ආහාර අවශ්‍යතාව පමණක් නොව අනෙක් රටවල ආහාර අවශ්‍යතාව සඳහාත් කෘෂි බෝග අපනයනයට අප සුදානම් විය යුතුයි. ඒ තුළින් අපට ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. එවිට අපට නැවත විදේශ ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

මම මේ රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීම සඳහායි. අලුත් ආර්ථිකයක් ඇති වන විට රටේ ගොවි ජනතාවට ද හොඳ ආදායමක් ලැබෙනවා. අද මෙම කර්මාන්තශාලාව විවෘත කළා වගේම නවීන තාක්ෂණය සමඟ තමන්ගේ වගා කටයුතු සිදු කිරීමට කෘෂි සංවිධානවලට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබා දීමද සිදු කෙරුණා.

ඉන්දීයාවේ ගොවින් මෙම වගා කටයුතු මෙහෙයවන්නේ තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනය මඟින්. රජයේ ඉඩම්වල ගොවිතැන් කරන අයට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා.”

මෙහි දී කෘෂි සංවිධාන සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය. මෙම දෙළුම් වගාව අක්කර 150ක පමණ භූමි භාගයක පවත්වාගෙන යන අතර, 300ක පමණ ගොවි ජනතාවක් එහි ප්‍රතිලාභ ලබති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *