ඇමැති – සභාපති ගැටුම දුරදිග යයි.. සීනෝර් ගොඩගත් සභාපති ගෙදර යයි…!

March 22, 2024 at 10:22 am | by emanisa.lk

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තව දුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්ත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත් පියල් නිශාන්ත මහතා එම ආයතනයට සේවකයන් විසි දෙනකුට අලුතෙන් පත්වීම් දුන් බවත් හෙට්ටිආරච්චි මහතා ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

රාජ්‍ය ඇමැතිවරයා සිය ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර ඇතැම් අවස්ථාවල ඒ සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බව ද හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බවද එම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බව ද දුලාන් හෙට්ටිආරච්චි මහතා එම ලිපියේ සඳහන් කරයි.

තමා සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබූ රුපියල් කෝටි පහක බැංකු අයිරාව ගෙවා ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කළ බවද සී නෝර් අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබා ගත් බව ද ඔහු ජනාධිපතිවරයාට දන්වා ඇත.

ෆයිබර් නිෂ්පාදනයට පමණක් යොමු වී තිබූ සී නෝර් ආයතනය සිවිල් ඉදිකිරීම්වලට අවතීරණය කිරීම, ඔස්ට්‍රේලියානු ආයෝජන සී නෝර් ආයතනය වෙත ලබා ගැනීම සහ ඉන්දියානු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර රුපියල් කෝටි 29ක් ආයතනයේ දියුණුව සඳහා ලබා ගැනීම වැනි විශාල කටයුතු තමාගේ ධුර කාලයේ දී සිදුකළ බවද ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

සිනෝර් සභාපතිවරයා නගන චෝදනා පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාට එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.

තමාට දෙන ඕනෑම අමාත්‍යාංශයක වගකීම නිසියාකාරව ඉටුකරන බව පැවසූ පියල් නිශාන්ත මහතා සඳහන් කළේ සී.නෝර් ආයතනයේ සභාපතිවරයා සමග තමාට කිසිදු ගැටලුවක් නොතිබූ බවය.

කිසිදු පුද්ගලයකුගේ සිත රිදවීමේ අදහසක් තමාට නොමැති හෙයින් සී නෝර් පදනම ගැන හෝ සභාපතිවරයා ගැන හෝ තමා වැඩි තොරතුරු සඳහන් නොකරන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *