ආයෝජන මණ්ඩලය ජනපතිටත් උඩින් යයි…! අලුතින් බඳවාගත් නිලධාරීන්ට පඩි මිලියනවලින්…!

November 12, 2021 at 2:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 දෙනකු බදවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගෙන ඉන් හත් දෙනකු අධික වැටුප්වලට දැනටමත් බඳවා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ලෙස දෙදෙනකු බඳවා ගෙන ඇති අතර මේ දෙදෙනාට රුපියල් දාහත් ලක්ෂ අනූදහසක් මාසිකව ගෙවන බවද එම කමිටුව සඳහන් කරයි. මෙයට අමතරව විධායක අධ්‍යක්ෂකවරුන් සිවු දෙනකු සඳහා රුපියල් තිස් එක් ලක්ෂ අසූදහසක් ගෙවා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු රුපියල් අට ලක්ෂ විසිදහසක මාසික වැටුපකට බඳවා ගෙන ඇතැයිද සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක උපදේශකවරියක ලෙස බඳවා ගෙන 2020-2021කාලයේදී රුපියල් කෝටියකට වැඩි මුදලක් ඇයට ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද කෝප් කමිටුවේදී ඊයේ දීර්ඝව සාකච්ඡා කෙරිණ. ඇයට එක් මාසයකදී ගෙවා ඇති වැටුප රුපියල් ලක්ෂ 10 ක් බවද වැඩිදුරටත් හෙළි විය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් බවත් මේ පිළිබඳව වහාම සොයා බැලීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය චරිත හේරත් එම කමිටුවේදී ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *