ආන්දෝලනයට පත් හතේ අපේ පොත සිසුන් අතට…!

April 3, 2023 at 8:13 am | by emanisa.lk

ලිංගික අධ්‍යාපනය ලබා දීමට අදාළව සකස් කරන ලද දැඩි මත භේදයකට ලක් වූ හතේ අපේ පොත යළිත් සිසුන් අතට පත් කරන ලෙස ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න දැනුම් දී තිබේ.

එසේ ම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශයට මන්ත්‍රීවරිය දැනුම් දී තිබේ. මෙම දැනුම් දීම කර ඇත්තේ එම සංසදය ඉකුත් දා රැස් වූ අවස්ථාවේ දී ය.

වයස අවුරුදු දහසය ඉක්මවූ පාසල් සිසුන් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇති බව මෙම සාකච්ඡාවට එක් වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ප්‍රකාශ කර ඇත.

එසේ වුවද දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩා කල සිටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබ ඇත.

කෙසේ වුව ද මෙම පොත මෙයට පෙර පාසල් සිසුන්ට හඳුන්වා දීමට උත්සාහ කිරීමේ දී ආගමික නායකයින් ඇතුළු පිරිසකගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ සමග එම කටයුතු නවතා දැමිණි.

ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතා ම අවම දැනුමක් පැවතීම යැයි ද පෙර පාසලේ සිටම ලිංගික අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාව සංසදය යෝජනා කරන බව ද මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් සභාපතිවරිය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස