වී අලෙවි මණ්ඩලය මේ වන විට වී මිල දී ගැනීම සිදු කරන්නේ සියයට 08ක පොලිය යටතේ රාජ්‍ය බැංකුවකින් ගත් ණය මුදලක් හා ගොවි භාරකාර මණ්ඩලයෙන් ලබා ගත් ණය මුදලක් මත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.
මේ හැර ගොවි භාරකාර අරමුදලෙන් ද ණය මුදලක් ලබා ගෙන ඇති අතර දැනට වී මිල දී ගැනීම සඳහා යොදවනු ලබන්නේ එම මුදල් බව ද ඇමැතිවරයා පවසයි.
වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගනු ලබන්නේ මුදල් අමාත්‍යාංශයේ මිල කමිටුවේ තීරණය පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 95කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 100කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක් වැනි මුදලකටය.
වී අලෙවි මණ්ඩලය කිසිදු අවස්ථාවක ගොවීන් සතු වී තොග සියයට සියයක් මිල දී නොගන්නා බවත් සමස්ත වී අස්වැන්නෙන් සියයට 10ක් පමණ උපරිම ප්‍රමාණයක් දක්වා වී මිල දී ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරයි. ඇතැම් වර්ෂවල සියයට එකක්වත් මිල දී නොගත් අවස්ථා ද වාර්තා වන බවත් ඔහු කියයි.