ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු…! නැත්නම් අපි විපක්ෂයට යනවා…! – ශ්‍රීලනිපය

April 1, 2022 at 10:42 pm | by emanisa.lk

රට මුහුණ දී සිටින අර්බුදයෙන් රට බේරා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි බවට රටේ බහුතර ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එනිසා භාරකාර ආණ්ඩුවකට රට බාර දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි, ශ්‍රීලනිපය අවධාරණය කරන්නේ.

වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලනිප නායකයන්ගේ හදිසි හමුවක් අද (01) පැවැත්විණි.

මෙම හමුව අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිප ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව සඳහන් කළේය.

මීට පෙර ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර බවත්, ඊට අමතරව සර්ව පාක්ෂික සමුළුවේ දී යෝජනා 22 ක් ආණ්ඩුවට ඉදිරිපත් කළ බවත් පෙන්වා දෙන දයාසිරි ජයසේකර පවසන්නේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා ආණ්ඩුවේ නායකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

මෙම තත්ත්වය හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට තීරණයක් ගැනීමට සිදුවන බව ද භාරකාර ආණ්ඩුවකට රට බාර දී අර්බුද විසඳීමට අවස්ථාව ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට හෝ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කරන බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස