සියල් ලෝ වැසි බොදු දනන්ගේ උතුම් ජයමඟුල, බුදු තෙමඟුල සිහිපත් කෙරෙන අද වෙසක් පුන් පොහෝ දිනයයි. සසර ගිම් නිවාලූ කෙලෙස් බිය නසාලූ, සත් වගට මෙත් වැඩ සව්ලොවට සෙත් සැදූ අසමසම, අදසිස, අසරණ සරණ බුදු මහිමය අද අපි සමරමු. එහෙත් ලොව තන්හි තන්හි ගිනි දැල්ය. ඔවුනොවුන්ට එරෙහිවද සතුරුවද අවි දරා නැගෙන්නෝය. මිනිස්කම්, මනුදම් සහ ගුණදම් නොතකන්නෝය. රාගයෙන් අඳව, මෝහයෙන් මුළාව, ලෝභයෙන් වියරුව විකල්ව දිව යන ලොවක් නොවේද මේ?
වරද, බුදුහිමියනි ඒ උතුම් සදහමෙහි නම් නොවේ. ඒ බුදු වදන් උස් හඬින් නගන, ඒ බුදුන් නමින් පින්කම් කෙරෙන බොදුනුවෝ ද නොඅඩුව සිටිති. දොරින් දොර නොවුවද පලින් පල දන්සල්ය. එව, කව, බොව යන මිහිරි වදන්ම මුවගින් ගලා බසියි. එහෙත් ඒ සදහම් මඟ හැර නොමඟ ගිය ගමන දෙස අපි කම්පිතව බලා හිඳිමු. අවිදු අඳුරෙහි ගිලෙමින් සැහැසිකම් වපුරමින් සුසිරිත හැර දුසිරිත සමග යන ගමනක් නොවේද මේ?
බුදුහිමියනි, මහා කාරුණිකයන් වහන්සේ යැයි අපි ඔබ වහන්සේගේ ගුණ ගයමු. අසාමාන්‍ය විමුක්තිදායකයන් වහන්සේ ලෙස ඒ මුනි ගුණ පසසමු. පෙදෙන් බුදු සිරිත කළ අපගේම යතිවරයෝ වූහ. කවිලකර හා බණමග වෙන වෙනම දැක්වූ වියත්හුද වූහ. එහෙත් අපට කොතැන හෝ වැරැදී ඇත. උතුම් බුදු බණ අසන අප එයින් ගත් යමක් ඇද්ද?
බුදු සසුන බැබලේවායි සාදු නද දෙන කිසිවෙක් එහි සැබෑ අරුත් දකිත්ද? බුදු වදන හැම දුක් නිවාලන සෙත් පිරිතක් වුවද අප ලද ශාන්තිය කොහිද? අපගේ සංවර ශීලය බිඳී ගොසින්ය. මේ සසර දනව්වේ අපි අසරණව නොසිටිමුද? බලවත්තු දුබලයන් පෙළන, ධනවත්තු දිළිඳුන් ගසා කන, ලොවක් නිමවෙමින් තිබේ. යන, එන, හිඳින, සිටින, කන, බොන හැමතැනම මෙත් වඩන්නට උගත් මුදු සිතැති අප කෙලෙස ළදැඩියෝ වෙත්ද?
මේ අසිරිමත් බොදු මඟුල යෙදුනු වෙසක් දිනයෙහි අපි සියලු බොදුනුවන්ගෙන් එක් දෙයක් අයැද සිටිමු. කෙලෙස් මළ සිරි ගම් දනව් හැර අපට යා නොහැකි බව සැබෑය. කුසට අහරද ලෙඩට ඔසුද විපතට සැපතද, අපගේ අරමුණු බව සැබෑය. එහෙත් ඒ සඳහා අප පිලිපදින සීලය කුමක්ද? බතට වඩා මතට ලොල්ව, සුසිරිතට වඩා දුසිරිතට ළංව, යන මේ ගමනෙහි අවසානය කුමක්ද?
ගිහි අපට නිවන බොහෝ දුරය. එහෙත් ඒ නිවන් මඟ පතන බොදුනුවෝ කිසි විටෙක තමන් වසා ගත් පව් අඳුර බිඳලන්ට අදිටනක්වත් කළාහු ද? එවන් අදිටනක් මෙවන් උතුම් දිනයකවත් තමන් හද තුළ රඳවා ගත හැකි නම් ඔබ නියම බොදුනුවෙකි. සොඳුරුම මිනිසෙකි. සමාජයට නොබරකි. දෙස, බස, රැස යන තුන් රුවනද බුදුන් දහම් සඟුන් යන තුන්රුවන සමගම එයින් සුරැකෙනු නිසැකය.
ඉන් පළමුව ඔබ බැබළෙයි. දෙවනුව රට බැබළෙයි. තෙවනුව ලොව බැබලෙයි. දුක් නිවී සිත් පහන්වී, මෙත් මල් පිපී සුවඳ දෙයි. යහපත් පැහැපත් සුවඳවත් සියපත් යායක් සේ සැදෙන ඒ ලොවෙහි බුදු සසුනද බැබලෙයි. එවන් සුපහන් වෙසක් මඟුලක් සියලු ලොවට උදා වේවා!