අස්වැසුම ජනතාවට ඇස්වැසුමක් වෙලා..! මම ජනතාව එක්ක පාරට එනවා…! – සජිත්…

June 27, 2023 at 6:01 pm | by emanisa.lk

රජය පටන් ගත් අස්වැසුම වැඩසටහන ගැන පාර්ලිමේන්තුවේ දිර්ඝ විවාදයක් කළ බවත් ජනතාව පවා එම වැඩසටහන ඵලදායී යැයි රැවටුණත් එහි වැරදි අඩුපාඩු රැසක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

බංකොලොත් රට ගෝඨාභයගෙන් රනිල් වික්‍රමසිංහ බාර ගෙන මුලින්ම සිදු කළ යුතු දේ ඔහු ඉටු කළේ නැති බවත් ඔහුගේ පළමු කාර්ය විය යුත්තේ රටේ විපතට පත් ජනතාව නිවැරදිව හඳුනා ගැනීම බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අදටත් මේ රටේ වර්තමාන නිල දරිද්‍රතා රේඛාව හරිහැටි හඳුනා ගැනීමට අපොහොසත් වී ඇති බවත් එම කාර්‍ය මත විමසුම් කරන ලර්න් ඒෂියා ආයතනය විසින් සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෘහයක ආදායම් වියදම් සමික්ෂණය නොකර දරිද්‍රතා රේඛාව නිශ්චිතව තෝරන්නේ නැතිව අස්වැසුම වැඩසටහනේ ප්‍රතිලාභීන් තේරීම ප්‍රශ්නකාරී බවත් ලර්න් ඒෂියා ආයතනයේ සංගනයනය අනුව මෙරට සිටි ලක්ෂ 30ක් වූ දුප්පත් ජනතාව ලක්ෂ 70 දක්වා ලක්ෂ 40කින් වැඩි වී ඇති බවත් සියයට 14ට තිබූ දුප්පත්කම සියයට 31 දක්වා සියයට 17කින් වැඩි වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයක රජය තිබිය දි මේ රජය විසින් ඒ ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් සුළු ප්‍රමාණයකට සහනාධාර ලබා දීමට තීරණය කර ඇති බවත් එසේ තේරීම සිදු කරන්නේ කෙසේද යන්න ගැටලුකාරි බවත් රජයට හෝ නිලධාරීන්ට හිතුමතේට එය සිදු කළ නොහැකි බවත් රජයට වැරදුනු තැන එය බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාති ආගම් කුල පන්ති භේදයකින් තොරව නිවැරදිව දුප්පතුන් තෝරා ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව යි.

එසේම යම් හෙයකින් රජය මෙම වැඩපිළිවෙළ සැබෑ දුප්පතුන්ට අසාධාරණයක් වන ආකාරයට ක්‍රියාත්මක කරන බවට හැගී යන්නේ නම් දුප්පතුන් වෙනුවෙන් තමා පෙරට එන බවත් විපක්ෂ සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ වීරවිල කිරිදිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි නායකයින් හමු වූ අවස්ථාවේදී ය.

මෙහි ප්‍රතිලාභ ලැබෙන්නේ දුප්පතුන් යැයි කියා ගන්නා කොටසෙන් සුළු කොටසකට බවත් මේ හේතුවෙන් සැබෑ දුප්පතුන් අසරණ වී ඇති බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ විපක්ෂයක් ලෙස තමා පැවසූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මෙතැන් පටන් හෝ විපක්ෂය විසින් සිදු කරන යෝජනා කෙරෙහිද අවධානය යොමු කර ආදායම් වියදම් සමික්ෂණයක් සිදු කර නිවැරදිව දුප්පත් ජනතාව අවබෝධ කර ගන්නා ලෙසත් එවිට දුප්පතුන් උද්ඝෝෂණය කරන එක පවා නතර වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම සහනාධාර ලබා දිය යුත්තේ එය ලැබිය යුතු සුදුස්සන්ට බවත් සහනාධාර නුසුදුස්සන්ට ලබා දීම රටට කරන හානියක් බවත් එබැවින් මේ සඳහා ඇති එකම විසදුම දුප්පත් ජනතාව කවුද යන්න සොයා බැලීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම බවත් පැවසීය.

අස්වැසුම ඇස්වැසුමක් වෙන බවක් පෙනෙන්නට ඇති බවත් පසුගිය කාලයේ ජනතාවගෙ ඇස් වසා ගැසූ ගේම් නිසා රට බංකොලොත් වූ බවත් ජනතාව වුවද තවත් එවැනි ගේම්වලට හසු නොවන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

තවද ගැබිනි මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නොමැති බවත් කුමන ආණ්ඩුවක් පැමිණියද ලබා දුන් ත්‍රිපෝෂ සහනාධාරය, මෙම ආණ්ඩුව විසින් කපා දැමීම අනුමත කළ නොහැකි බවත් මේ වරද වහා නිවැරදි කළ යුතු බවත් දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම වහාම නවත්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දෙමාපියන් ගැබිනි මව්වරුන් දරුවන් වෙනුවෙන් කතා කරන විටද ඊට උසුළු විසුළු කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සිටින බවත් උන්මත්තකයන් සේ ඔවුන් කටයුතු කිරීම හෙළා දකින බවත් මෙය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය බව අමතක නොකළ යුතු බවත් මෙම අවස්ථාවේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

– Media unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *