මෙතෙක් පැවති ඡන්ද සියල්ල ජයග්‍රහණය කළ පක්ෂය ලෙස ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අවධාරණය කරයි.
ඒ, අද (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ බැසිල් රාජපක්ෂගේ මඟපෙන්වීමෙන් ශක්තිමත්ව ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් සිය පක්ෂය මැතිවරණය සඳහා බිය නොමැති බවත් ඔහු සඳහන් කළේය.
කවුරු මොනවා කීව ද 49 වසරක් පුරා ජනාධිපති ධූරයට පත්වීමට උත්සහ කළ රනිල් වික්‍රමසිංහට ඊට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.
රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගැනීමට දේශපාලන අත්දැකීම් මත ඒ මොහොතේ හැකියාව තිබුණේ රනිල් වික්‍රමසිංහට වන අතර ඒ අනුව රට ගැන සිතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල කැපකිරීමක් කර තිබෙන බවත් ඔහු තව දුරටත් කීවේය.