අපි වේගයෙන් ජනතා ගැටලු විසඳන කොට විපක්ෂය කලබල වෙලා පිස්සු නටනවා..! – හරීන්..

July 6, 2022 at 9:27 am | by emanisa.lk

ඉන්ධන නැව් හතක් ඉදිරි සති දෙකක පමණ කාලය තුළ දී මෙරටට පැමිණෙන බව සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.

පාර්ලිමේන්තුවේ දී ඊයේ ඔහු මේ බව (05) ප්‍රකාශ කළේය.

මේ ඉන්ධන නැව් හත පැමිණි පසුව ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් ඇති වේ යැයි බියට විපක්ෂය කලබල වී ඇතැයි ද, විපක්ෂයට උවමනා රටට ලැබීමට තිබෙන තෙල් ටික පවා නැති කර රට අරාජික කිරීමට යැයි ද ඇමැතිවරයා පැවසුවේය.

විදේශ විනිමය පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ගමේ කතාවක් තිබෙනවා ඔළුවේ අමාරුවට කකුලට පත්තු බඳින්නේ නැහැ කියලා. රටේ ප්‍රශ්නයක් තිබෙන වෙලාවේ විපක්ෂය මෙහෙම හැසිරීම සුදුසු නැහැ. පසුගිය 09 වැනිදා මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බාම රට භාර ගන්න කියලා විපක්ෂ නායකවරයාට ආණ්ඩුවෙන් කියා සිටියා. නමුත් ඔහු එවැනි දෙයක් කළේ නැහැ. අපට තේරුණා ඔහුට අවශ්‍ය වන්නේ කෑ ගගහා ඉන්න විතරයි කියලා. ඒ නිසා ආණ්ඩුවට එක්ව රට වෙනුවෙන් යමක් කිරීමට අපි තීරණය කළා. මේක මහා පටු ආතල් එකක්. මමත් මනූෂත් මේක භාර ගත්තේ මාස තුනකට. දැනට කාලය ගතව තිබෙන්නේ සති හයයි අපි භාරගෙන. පොහොර, ගෑස් ප්‍රශ්නවලට මේ සති තුනේ දී විසඳුම් ලැබී තිබෙනවා. ඉතිරි කාලය තුළ දී අපට තෙල් ප්‍රශ්නයත් විසඳන්න පුළුවන් වේවි.

රටේ මිනිසුන්ට දැන් අවශ්‍යව ඇත්තේ ගෑස්, පොහොර ටික. ගෑස් ටික මේ සතියේ එනවා. ගෑස් මේ සතියේ බානවා. ඖෂධ දීමත් අපි සිදු කළා. සියම් ට්‍රේඩින් කියන ආයතනයෙන් 98කට දුන්නා. ඔමාන් ට්‍රේඩ් එකෙන් 120කට ගත්තා කියලානේ ඔය කතාව තිබෙන්නෙ. සියම් ට්‍රේඩින් ආයතනය සතුව තිබෙන්නේ අවුරුදු 20ක් පරණ නැව් දෙකක් විතරයි. 70ට තිබේ නම් 120ට ගන්නේ මොන පිස්සාද? කෝප් එකක් තිබෙනවා මේවා බලන්න. ජනතාවට රැවටීමට එක එක කතා කියනවා. ජනතාව තුළ වෛරය ඇති නොකළ යුතුයි. ඇඳුම් මහගෙන තොප්පි දාගෙන පෙරහැරේ යන්න කට්ටිය ඉන්නවා. බර අදින්න කවුරුත් නැහැ. වට්ටලාම ගමු කියලා ඇතැමුන් හිතා සිටිනවා.

8, 9 තෙල් නැව් එනවා. ඩීසල් 40,000ක් එනවා. 10, 11 වැනිද නැවක් එනවා. 11, 14 ඩීසල් නැවක් එනවා. 13, 15 බිටෝල් එකෙන් පෙට්‍රල් එනවා. 15 වැනිදා කෘඩ් ඔයිල් එනවා. 15 වැනිදා අයි.ඕ.සී. එකෙන් ඩීසල් නැවක් එනවා. 22 වැනිදා 50ක් එනවා. මේ කලබලය මොකුත් නිසා නොවේ අපි මේක කරයි කියලා තමයි මේ කලබලය. රටක් බිංදුවට වට්ටලා කරන්න බැහැ. ඩොලර් මිලියන 316ක් අපට ඕනෑ. මේ නැව් ටික ගන්න ඒ මුදල ඕන. තිබෙන්නේ 140යි. මේ හැසිරෙන විදියෙන් රටේ මිනිසුන්ට තෙල් නැති වෙනවා. විපක්ෂය හැසිරෙන විදියට අංශයක් අංශයක් ගානේ රට කඩා වැටෙනවා. සජිත් ගිරිය කඩාගෙන කෑ ගැහුවට එක තෙල් නැවක්වත් ගෙනාවේ නැහැ.”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස