අපි නිධානයක් මත සිට හිඟා කනවා…!

March 25, 2022 at 6:37 am | by emanisa.lk

ශ්‍රී ලංකාව සතු වටිනා භූ සම්පත්වලින් නිසිඵල ලබාගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත්, ලංකා ඛනිජවැලි සමාගමත් අසමත් වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි

මේ හේතුවෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇතැම් පුද්ගලයන් හා සමාගම් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ගවේෂණ බලපත් ලබාගෙන වසර 10ක් පමණ ගතව ඇතත් එම ගවේෂණ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව සිදු නොකෙරෙන බව කී ඇමතිවරයා එම අවිධිමත් ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාව නිධානයක් මත සිට ගෙන හිඟාකන රටක් බවට පත්ව ඇතැයි ද කීවේය.

ශ්‍රී ලංකාවේ වටිනා භූ සම්පත් ඇති ස්ථාන හඳුනා ගැනීම සඳහා දැනට සිදු කෙරෙන ගවේෂණ කටයුතු කඩිනම් කරන ලෙස එම ආයතනවලට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජවැලි සමාගමේ නිලධාරින් සමග පැවැත් වූ සාකච්ඡාවකදීය.

ගෑස් නැවකින් ගෑස් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 8ක් වැනි මුදලක් සොයා ගැනීමත් රජයට අපහසු වී ඇති සමයක රටට ඇති වටිනා භූ සම්පත්වල නිසිඵල ලබා ගන්නට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටත්, ලංකා ඛනිජවැලි සමාගමටත් නොහැකි වී තිබීම කණගාටුවට කරුණක් බව ද ඇමතිවරයා කීවේය.

එබැවින් වටිනා භූ සම්පත් ඇති ස්ථාන හඳුනාගෙන එම ස්ථාන සිතියම්ගත කරන ලෙසත් එවැනි ස්ථානවල පදිංචි කිරීම් හෝ වෙනත් ගොඩනැගිලි ඉදි කිරීම් නොකළ යුතු බවත් අමාත්‍යවරයා කීය. වටිනා භූ සම්පත් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් ඇතත් ඒ පිළිබඳ සොයා බැලීමක් නොකර එම ස්ථානවල මහජනතාව පදිංචි කර ඇති ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වී ඇති බවත්, ඇතැම් ස්ථානවල විශාල ගොඩනැගිලි පවා ඉදි කර ඇති බවත් අමරවීර මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස