අපිත් වෙහෙසෙන්නේ මේ රට ගොඩගන්න තමයි…! – හර්ෂ…

March 26, 2023 at 9:50 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යනු වතුරේ ගිලෙන්නට යන මිනිසෙකුට ගොඩ එන්නට ලබාදුන් කඹයක් පමණක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මෙය දිගු දුෂ්කර ගමනක ආරම්භය බවත් ඉදිරියේ දී ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුකර ගැනීම සහ දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකර ගැනීම තුළින් මෙම ගමන අවසානයේ දී ජයග්‍රහණය ලබාගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.

“දැන් මේ සමහරු මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ ණය පහසුකම ලැබුණා කිව්වහම අත්පුඩි ගැහුවට මූල්‍ය අරමුදලට එදා යන්න කියල කියනකොට විරුද්ධ වුණා. විරුද්ධ වුණා විතරක් නෙවෙයි රට ගොඩගන්න කිසිම විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළෙත් නෑ. එදා මූල්‍ය අරමුදලට ගියා නම් අපිට ප්‍රශ්නය ගොඩින් බේරගන්න තිබුණා.

රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා කියනවා බදු ගෙවිය යුතු ජනතාව මිලියන 1.1 කට වඩා ඉන්නවා එයින් බදු ගෙවන්නේ 120,965 යි කියලා. ඉතිං, කොහොමද අපේක්ෂිත ආදායම රැස් කරගන්නේ. ඒ වගේම, සියඹලාපිටිය අමාත්‍යවරයා කියනවා මේ 36%ක පුද්ගලික ආදායම් බද්ද ගැහුවේ නැත්නම් බලාපොරොත්තු වන බදු ප්‍රමාණය එකතු කරගන්න බෑ කියලා.

ඒකට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මොකද, ලක්ෂ හතරහමාරක් පහක් වෙනකං,වෘත්තීයවේදීන්ගේ බද්ද උපරිම 24%ක 25%ක තියාගන්න පුළුවන්. එවිට අධිආදායම් උපයන අයගෙන් ගන්න බද්ද 39%ක් 40%ක් දක්වා කෙටි කාලීනව වැඩිකරන්න වෙනවා.

මේ රට ගොඩගන්න තමයි අපිත් මේ වෙහෙස වෙන්නේ. ඒ නිසා, හොඳ දේට හොඳයි කියන්න මම පැකිලෙන්නෙ නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පිටු 155 ක මූල්‍ය අරමුදලේ ලියවිල්ල කියවල අපගේ අදහස ඉදිරියේදී කියන්නම්. අපි කැමති නෑ මේක පරාජය වෙනවට. නමුත්, ඉදිරියේ තිබෙන අභියෝගය අපි වඩාත් විවෘතව තේරුම් ගත යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *